• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජල රැඳවුම් ධාරිතාව වර්ධනය කිරීම සඳහා කුඩා/මධ්‍යම පරිමාණ වැව්වල ගොඩ වී ඇති වැලි, පස් හා කාබනික ද්‍රව්‍ය ඉවත් කිරීම
- ග්‍රාමීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ග්‍රාමීය වාරි වැව් හා අමුණු 5,000ක් කඩිනමින් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක කෙ‍ෙරමින් පවතී. කාලයක් ති‍ස්සේ පස් සේදී ඒම, ජලජ ශාක හා වල්පැළෑටි වැවීම හා ඒවා දිරාපත් වීම නිසා ගොඩ වී ඇති වැව්තාවුළු හාරා එම වැව්වල ධාරිතාව වැඩි කිරීම, මෙම වැව් යටතේ වගා කටයුතුවල යෙදෙන ගොවීන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වී ඇත. ඒ සඳහා එම වැව්වල තැන්පත් වී ඇති රොන්මඩ ඉවත් කර ප්‍රවාහනය කළ යුතු අතර, එලෙස ඉවත් කරනු ලබන රොන්මඩ ඇතුළු ද්‍රව්‍ය මැටි කර්මාන්ත, වැලි නිස්සාරණ, කාබනික පොහොර නිෂ්පාදනය හා මාර්ග සංවර්ධනය වැනි කටයුතුවල අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගැනීමට හැකියාව පවතී. එබැවින්, එවැනි අමුද්‍රව්‍ය භාවිත කරනු ලබන ව්‍යවසායකයින්හට පාලනයකින් යුතුව එම ද්‍රව්‍ය ඉවත් කර ගැනීමට ඉඩ සැලසීම මඟින් රජයට වියදමක් නොමැතිව, ආදායමක් ද ලබා ගනිමින් අදාළ වැව්වල ජල රැඳවුම් ධාරිතා වැඩි කර ගැනීමට ඉඩකඩ ඇත. මෙම කාර්යය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කාර්යමණ්ඩලය ප්‍රමාණවත් නොවන බැවින්, ඒ සඳහා ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, මධ්‍යම ඉංජිනේරු සේවා (පුද්ගලික) සමාගම සහ මගනැගුම යන ආයතනවල සේවය ලබා ගැනීමට ද සැලසුම් කර ඇත. ඒ අනුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ වැව්වල තැන්පත් වී ඇති ද්‍රව්‍ය රජයට වාසිදායක වන අයුරින් සහ නිසි ප්‍රමිතීන්ට අනුකූලව ඉවත් කිරීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීමටත්, වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඉදිරි වසර 03ක කාලය තුළ වසරකට වැව් 2,000ක වැව් පතුල ශුද්ධ කිරීම හා ධාරිතාව වැඩි කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.