• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියාවේ කොචි හි පිහිටි අම්රිතා වෛද්‍ය විද්‍යා ආයතනය (අම්රිතා රෝහල) මඟින් හදවත් රෝග සහිත ළමුන් සඳහා හෘද ශල්‍ය කර්ම සිදු කිරීම
- සෑම වසරකම ළමුන් 3,000ක් පමණ මෙරට තුළ හෘද රෝග සහිතව උපදින අතර ඔවුන්ගෙන් 1,500 - 2,000 අතර පිරිසකට ශල්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. බොහෝ රෝහල්වලින් මෙවැනි දරුවන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට යොමු කරනු ලබන නමුත් එම රෝහලේ පහසුකම් පවතිනුයේ වසරකට ආසන්න වශයෙන් ශල්‍යකර්ම 900ක් සිදු කිරීමට පමණකි. එබැවින්. මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින 'Little Heart' ව්‍යාපෘතිය යටතේ ශල්‍යාගාර හා හෘද හදිසි ප්‍රතිකාර සඳහා ප්‍රමාණවත් පහසුකම් ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගනු ලබන තෙක්, හෘද ශල්‍යකර්ම සිදු කිරීම සම්බන්ධයෙන් පවතින තදබදය අඩු කරලීම පිණිස ඉන්දියාවේ දිස්ත්‍රික් 3201 ජාත්‍යන්තර රොටරි සමාජය සහ RID 3220 බටහිර කොළඹ රොටරි සමාජය විසින් ඉන්දියාවේ කොචීහි පිහිටි අම්රිතා වෛද්‍ය විද්‍යා ආයතනයේදී ළමුන් සඳහා සංකීර්ණ හදවත් සැත්කම් සිදු කර ගැනීමේ පහසුකම් සලසා දීම පිණිස වසර දෙකක කාලයකට වූ ව්‍යාපෘතියක් රොටරි ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇත. ඒ අනුව, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඉන්දියාවේ දිස්ත්‍රික් 3201 ජාත්‍යන්තර රොටරි සමාජය හා RID 3220 බටහිර කොළඹ රොටරි සමාජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.