• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු මැද පළාතේ කෘෂි යෙදවුම් මගින් ජනනය වන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමනාකරණය
- කෘෂි යෙදවුම් සඳහා යොදා ගැනෙන ඇසුරුම් බොහොමයක් පොලිඑතිලීන් ටෙරෙප්තලේට්, වීදුරු, වැඩි ඝනත්වයෙන් යුත් පොලිඑතිලීන් හා පොලිප්‍රොපිලීන් යන ද්‍රව්‍යවලින් නිර්මාණය වී තිබේ. මෙම ද්‍රව්‍ය අවිධිමත් ලෙස පරිසරයට මුදා හැරීමත්, වගා බිම් හා නිවාස ආශ්‍රිතව පිළිස්සීමත් පරිසර දූෂණයට හේතු කාරක වී ඇති බැවින්, ඒවා නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණය කිරීම පිණිස පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහනක් සංවිධානය කර ඇත. පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ 2016 වර්ෂයේ සිට මධ්‍යම පරිසර අධිකාරිය, පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය සහ ක්‍රොප්ලයිෆ් - ශ්‍රී ලංකා (පෞද්ගලික) සමාගම එක්ව ක්‍රියාත්මක කරනු ලබන ප්ලාස්ටික් හා වීදුරු වැනි ඉවතලන හිස් බඳුන් එක් රැස් කර ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් ගොවි සංවිධාන, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාස කළමනාකරණ කාර්යාලවල සහයෝගය ඇතිව උතුරු මැද පළාත තුළ නියමු ව්‍යාපෘතියක් වශයෙන් යෝජිත වැඩසටහන ප්‍රථමයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය, ජලය හා සනීපාරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සහ ආහාර සුරක්ෂිතතාවය සහ දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා සහාය වීම වැඩසටහන මඟින් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සලසා දීමට පියවර ගෙන ඇත. ඒ අනුව, එම වැඩසටහන යටතේ 2022 වර්ෂයේ සිට සෑම යල කන්නයකදීම මාර්තු මාසයේ දෙවන සතියත්, සෑම මහ කන්නයකදීම සැප්තැම්බර් මාසයේ තෙවන සතියත් හිස් ප්ලාස්ටික් හා වීදුරු ඇසුරුම් එකතු කිරීමේ සති වශයෙන් ප්‍රකාශයට පත් කර කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරින්ගේ සහ ගොවි සංවිධානවල සහාය ඇතිව යෝජිත වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම පිණිස පරිසර අමාත්‍යතුමා සහ කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.