• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සිවිල් නඩු විධාන සංග්‍රහය (101 වන අධිකාරය) සංශෝධනය කිරීම
- අන්තිම කැමති පත්‍රයක් නොවන, සහතික කළ යම් ඔප්පුවක් හෝ ලේඛනයක් බැලු බැල්මට එය නිසියාකාරව සහතික කර ඇති බව පෙනේ නම් සහ ආයාචනා කිරීමේදී හෝ තවදුරටත් ආයාචනා කිරීමේදී අත්සන් කිරීම හෝ එහි අව්‍යාජභාවය විශේෂයෙන් දෝෂාභියෝගයට ලක් කර ගැටලුවක් ලෙස මතු නොකළහොත් හෝ අධිකරණයට එවැනි සාක්ෂි අවශ්‍ය වන්නේ නම් මිස ලියා අත්සන් කිරීම සහ ඒවායේ සත්‍යතාව ඔප්පු කිරීම සඳහා විධිමත් සාක්ෂි ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවට වන විධිවිධාන සිවිල් නඩු විධාන සංග්‍රහයට (101 වන අධිකාරය) හඳුන්වා දීම යෝග්‍ය බව අධිකරණ ඇමතිතුමා විසින් පත් කරනු ලැබ ඇති සිවිල් නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුව විසින් නිර්දේශ කර ඇත. ඒ අනුව, එම කාර්යය සඳහා අවශ්‍ය විධිවිධාන සැලැස්වීම පිණිස සිවිල් නඩුවිධාන සංග්‍රහයට අවශ්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහාත්, ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක මඟින් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහාත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.