• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
COVID - 19 වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන පද්ධතිය තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා "නැණස" අධ්‍යාපනික රූපවාහිනී නාලිකා සංඛ්‍යාව වැඩි කිරීම
- අධ්‍යාපනය වෙනුවෙන් වෙන් වූ සිංහල හා දෙමළ මාධ්‍ය අධ්‍යාපන නාලිකා දෙකක් මඟින් 2018 වර්ෂයේ සිට ඩයලොග් ආයතනය විසින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ "නැණස" නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලබයි. එම වැඩසටහන යටතේ ඩයලොග් ආයතනය විසින් පාසල් 2,200කට ආසන්න ප්‍රමාණයකට රූපවාහිනී යන්ත්‍ර සහ ඩයලොග් සබඳතාවන් ලබා දී ඇති අතර එකී සබඳතා සඳහා මාසික ගාස්තුවක් අය කරනු නොලබයි. COVID - 19 වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන පද්ධතිය තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා "නැණස" ව්‍යාපෘතිය නව නාලිකා 02ක් ද ඇතුළුව නාලික 04ක් ඔස්සේ 2021 සැප්තැම්බර් මස 07 දින සිට ක්‍රියාත්මක කිරීමටත්, 2022 ජනවාරි මස 01 දින වන විට මුළු නාලිකා සංඛ්‍යාව 10 දක්වා වැඩි කිරීමටත්, ඩයලොග් ආයතනය එකඟතාව පළ කර ඇත. ඒ අනුව එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.