• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහා පරිමාණ වාණිජ කිරි ගොවිපොළ පිහිටුවීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින්ට දීර්ඝකාලීන බදු පදනම මත ඉඩම් ලබා දීම
- ශ්‍රී ලංකා‍වේ දියර කිරි අවශ්‍යතාවයෙන් 40%ක් පමණ දේශීයව නිෂ්පාදනය කරන අතර, ඉතිරි ප්‍රමාණය ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 50ක් පමණ වැය කර කරනු ලබයි. එබැවින්, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය පිටු දැකීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විසින් දේශීය කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා දේශීය හා විදේශීය ආයෝජකයින් දිරි ගැන්වීම පිණිස අවශ්‍ය යෝජනා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් උනන්දුවක් දක්වන ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවා ඇති අතර, එම මණ්ඩලයේ තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කර ඇති ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ ආයෝජකයින් වෙත ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල දැනට භාවිතයට නොගන්නා ඉඩම් හා වෙනත් රජයට අයත් භාවිතයට නොගන්නා ඉඩම්, නවීන කිරි ගො‍විපොළවල් ලෙස සංවර්ධනය කිරීම සඳහා පහත සඳහන් පරිදි වසර 30ක කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* H.B.K.I.R. International Investment/Access Agro (Pvt) Ltd. ආයතනය වෙත අක්කර 700ක් සහ Pesara Logistics ආයතනය වෙත අක්කර 60ක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් නිකවැරටිය ගොවිපොළෙන් වෙන් කර දීම.

* ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ගලබොඩවත්ත වතුයායෙන් සහ මවුන්ට් ජින් වතුයායෙන් අක්කර 811ක් Farm’s Pride (Pvt) Ltd ආයතනය වෙත වෙන් කර දීම.

* ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු දෙල්තොට වතුයාය සහ ග්‍රේට් වැලි වතුයායෙන් පිළිවෙලින් අක්කර 200ක් සහ අක්කර 150ක් Hillside Agro (Pvt) Ltd ආයතනය වෙත වෙන් කර දීම.

* ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කොට්ටුකච්චිය ගොවිපොළෙන් අක්කර 250ක් Gamma Pizzakraft Lanka (Pvt) Ltd ආයතනය වෙත වෙන් කර දීම.