• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වයඹ මහ ඇළ සහ දැදුරු ඔය වාරි සංවර්ධන ව්‍යාපෘති යටතේ පවතින භූමි ප්‍රදේශ මහවැලි විශේෂ ආර්ථික කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
- මහවැලි ගංගා ද්‍රෝණියේ අතිරික්ත ජලය වයඹ, උතුරු මැද, උතුරු පළාත්වල පිහිටි උප ගංගා ද්‍රෝණිවල ජීවත් වන ග්‍රාමීය ජනතාවගේ කෘෂි ආර්ථික ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස යොදා ගැනීමට මෙන්ම එම ප්‍රදේශවල පානීය හා කර්මාන්ත ජල අවශ්‍යතා සපුරාලීම ඉලක්ක කර ගත් ප්‍රමුඛතා ව්‍යාපෘතියක් වශයෙන් මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. එම ව්‍යාපෘතිය යටතේ, ඉදිරි වසර හතර (04) තුළ කිලෝමීටර 88.9ක දිගින් යුත් වයඹ මහ ඇළ සහ කිලෝමීටර 95.7ක දිගින් යුත් උතුරු මැද මහ ඇළ යන කෘතිම ඇළ පද්ධතීන් දෙක ඉදි කිරීමට සහ නව ගබඩා ජලාශ 07ක් මඟින් ග්‍රාමීය වැව් 1,500ක් පෝෂණය කිරීමට සැලසුම් කර ඇත. එසේම, මේ වන විට දැදුරු ඔය හරස් කර ඉදිකරන ලද නව දැදුරු ඔය ජලාශයේ වැඩ කටයුතු හා ඒ යටතේ වන ඉදි කිරීම් අවසන් කර ඇති අතර, එම ව්‍යාපෘතිය යටතේ කුඩා වැව් 200ක් මඟින් ඉඩම් අක්කර 25,000ක් සඳහා දෙකන්නය වගා කිරීමට වාරි ජල පහසුකම් සැපයීමට සහ නව පාරිභෝගිකයින් 50,000කට පමණ පානීය ජල පහසුකම් සැපයීමට මෙන්ම මෙගාවොට් 1.5කින් යුත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් මඟින් විදුලිය ජනනය කිරීමටද අපේක්ෂිතය. ඉහත ව්‍යාපෘති දෙක යටතේ, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය සහ මා‍‍තලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක් ආවරණය වන පරිදි ඌන සංවර්ධිත භූමි ප්‍රදේශ කඩිනම් හා ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලියක් මඟින් සංවර්ධනය කිරීමට හඳුනාගෙන ඇත. ඒ අනුව, එම කලාපය සඳහා අදාළ සියලුම අමාත්‍යාංශ සහ ආයතනවල දායකත්වයෙන් ඒකාබද්ධ ආයෝජන සැලැස්මක් සකස් කර ඉදිරි වසර තුන තුළ එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර සහ මා‍‍තලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක් ආවරණය වන අයුරින් පිහිටා ඇති ග්‍රාම නිලධාරි වසම් 410කින් සමන්විත භූගෝලීය බල ප්‍රදේශය, 1979 අංක 23 දරන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පනත යටතේ මහවැලි විශේෂ බල ප්‍රදේශක් ලෙස ප්‍රකාශයට පත් කර ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලියක් යටතේ සංවර්ධනය කිරීම පිණිස වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.