• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර නාවිකයන්ට නිකුත් කරනු ලබන සහතික පිළිගැනීම (Certificate of Recognition) සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම යාවත්කාලීන කිරීම
- විදේශ රටක සමුද්‍රීය ප්‍රවීණ සහතිකයක් හිමි නාවිකයෙකුට, යම් වෙනත් රජයක් යටතේ ලියාපදිංචි කර ඇති නෞකාවක සේවය කිරීම සඳහා එම නෞකාව ලියාපදිංචි කර ඇති රාජ්‍ය වෙතින් ද ඊට සමාන සහතිකයක් (Certificate of Recognition) ලබා ගැනීම අනිවාර්ය වේ. වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය විසින් මේ වන විට එවැනි සහතික පිළිගැනීමට අදාළව රටවල් 33ක් සමඟ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබා ඇති අතර, එමඟින් ශ්‍රී ලාංකික නාවිකයින් විශාල පිරිසකට විදේශීය නෞකාවල රැකියා සඳහා අවස්ථාව ලැබී ඇත. ශ්‍රී ලංකාව 2007 වර්ෂයේදී එවැනි සහතික පිළිගැනීම සඳහා එක්සත් රාජධානිය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර ශ්‍රී ලාංකික නාවිකයින් සඳහා වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වන පරිදි එකී ගිවිසුමේ විධිවිධාන සංශෝධනය කරමින් යාවත්කාලීන කරන ලද අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට දෙපාර්ශ්වය අතර එකඟතාව පළ වී ඇත. ඒ සඳහා වන කෙටුම්පත් අවබෝධතා ගිවිසුමට නීතිපතිතුමාගේ සහ විදේශ අමාත්‍යාංශයේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, යාවත්කාලීන කරන ලද අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස වරාය හා නාවික අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.