• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමනල වැව වැව් බැම්ම අළුත්වැඩියා කිරීම
- මෙගාවොට් 120ක ධාරිතාවකින් යුත් සමනල වැව විදුලිබලාගාර ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු 1986 වසරේදී ආරම්භ කර ඇති අතර, එම ජලාශයේ ජලය පිරවීමේ කටයුතු 1992 වසරේදී සිදු කර ඇත. ජලාශයේ ජල කාන්දුවක් පවතින බව එම වර්ෂයේදීම හඳුනාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් අධ්‍යයන ගණනාවක් සිදු කර ඇති නමුත් මෙතෙක් ජල කාන්දුවේ මාර්ගය නිශ්චිතව හඳුනා ගැනීමට හැකි වී නොමැත. එම ජල කාන්දුව හේතුවෙන් ජලාශයේ පරිමාව ඝන මීටර මිලියන 288කට පමණක් සීමා වී තිබේ. එබැවින්, සමනල වැව විදුලිබලාගාරයේ අපේක්ෂිත වාර්ෂික විදුලි ජනන ධාරිතාව වන ගිගාවොට් පැය 405 ගිගාවොට් පැය 70කින් පමණ අඩු වී ඇත. ජලාශයේ දකුණු ඉවුර ප්‍රදේශයේ අධික ලෙස දිරාපත් වීමට ලක්වූ ජලය කාන්දු විය හැකි සිදුරු සහිත හුණුගල් ස්ථරයක් පවතින බව හඳුනාගෙන ඇති අතර ජලය කාන්දු වන මාර්ගය තවදුරටත් විශාල වී ව්‍යසනකාරි තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බව පෙනී ගොස් තිබේ. එම කරුණු සැලකිල්ලට ගනිමින් මීට පෙර සිදු කරනු ලැබ ඇති ප්‍රතිකර්ම පිළිබඳ අධ්‍යයනය කර ජලාශයේ ජලය සම්පූර්ණයෙන් ඉවත් කොට පූර්ණ පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව, ජලය කාන්දු වන ස්ථාන සුදුසු අමුද්‍රව්‍ය යොදා මුද්‍රා තැබීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.