• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
COVID - 19 වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා රූපවාහිනි සේවා සහාය ලබා ගැනීම
- COVID - 19 වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් විවෘත කිරීමට අපහසු වී ඇති බැවින්, සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කර ගෙන යාම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත. ඒ යටතේ "ඉ-තක්සලාව" ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ "අයි" සහ "නේත්‍රා" නාලිකා ඒකාබද්ධ කර ක්‍රියාත්මක කරන "ගුරු ගෙදර" අධ්‍යාපනික රූපවාහිනි වැඩසටහන් සහ නිවාස පාදක ඉගෙනුම් වැඩසටහන් ජාතික මට්ටමින් ක්‍රියාත්මක කර තිබේ. එසේම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මඟින් ප්‍රාදේශීය ගුවන්විදුලි නාලිකා, අධ්‍යාපන කළමනාකරණ පද්ධති සහ "යූටියුබ්" නාලිකා මඟින් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. එහෙත්, 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු විෂයයන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන මාධ්‍යයන්ගෙන් විකාශය කිරීම සඳහා දැනට ලැබී ඇති විකාශන කාලයන් ප්‍රමාණවත් නොවේ. එබැවින්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් අධ්‍යාපනික අන්තර්ගතයන් විකාශය කිරීම වෙනුවෙන්ම වෙන් වූ නාලිකා 07ක්, "SLT PEO TV" නාලිකා ජාලය ඔස්සේ නොමිලේ ලබා දීමට එකඟතාව පළ කර ඇත. ඒ අනුව, ගුරු ගෙදර අධ්‍යාපනික අන්තර්ගතයන් එම නාලිකා 07 ඔස්සේ විකාශය කිරීමට සහ ඉදිරියේදී එම නාලිකා සංඛ්‍යාව 20 දක්වා ව්‍යාප්ත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.