• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මක ප්‍රතිලාභයන් තිරසරව පවත්වා ගැනීමේ ව්‍යාපෘතිය
- කොවිඩ් - 19 රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා බොහෝ රටවල් අගුලු දැමීමේ සහ සංචරණ සීමා පැනවීමේ ප්‍රතිඵලයක් වශයෙන් මාර්ගවල ධාවනය වන මෝටර් රථවල අඩු වීමක් සිදු වීම මත 2020 මාර්තු මාසයේ සිට එම රටවල්හි නගරවල වායු ගුණාත්මකභාවය වර්ධනය වී ඇති බව නිරීක්ෂණය වී තිබේ. දකුණු ආසියානු කලාපයේ බොහෝ නගරයන්හි කොවිඩ් - 19 වසංගත ව්‍යාප්තිය සහ වාතයේ ගුණාත්මකභාවය අතර සම්බන්ධතාව තක්සේරු කර ඇති නමුත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදු කර ඇති අධ්‍යයනයන් ඉතාම අඩු මට්ටමක පවතී. මෙම තත්ත්වය යටතේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන විසින් "ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මක ප්‍රතිලාභයන් තිරසරව පවත්වා ගැනීමේ ව්‍යාපෘතිය: හඳුනාගත් ක්‍රියාමාර්ග 25ක් කොවිඩ්-19 කාලය තුළ ක්‍රියාත්මක කිරීම" නමින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සහාය දැක්වීමට කැමැත්ත පළ කර ඇත. මුළු ඇස්තමේන්තුගත පිරිවැය ඇමෙරිකානු එක්සත් ජනපද ‍ඩොලර 15,000 ක් වූ මෙම ව්‍යාපෘතිය මඟින් 'කොවිඩ් - 19 සහ කොළඹ නගරයේ වාතයේ ගුණාත්මකභාවය' සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය සහ තාක්ෂණික විශ්ලේෂනයක් සිදු කිරීමටත්, වාතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිපත්ති සකස් කළ යුතු ක්ෂේත්‍ර හඳුනාගැනීම, වායු ගුණාත්මකභාවය තිරසර කිරීම සහ පිරිසිදු වාතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල පෙන්නුම් කෙරෙන ඉහළ මට්ටමේ වැඩසටහන් සම්බන්ධීකරණය කිරීමටත් අපේක්ෂා කෙරේ. එම ව්‍යාපෘතියේ ප්‍රතිඵල සහ සොයා ගැනීම් "කොළඹ නගරයේ පශ්චාත් වසංගත වායු ගුණාත්මකභාවය තිරසරව වැඩිදියුණු කිරීම" පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ සංවාදයේදී බෙදා හැරීමට ද සැලසුම් කර තිබේ. ඒ අනුව, එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.