• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022 වර්ෂය සඳහා වන වාර්ෂික අයවැය සකස් කිරීම
- 2022-2024 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ 2022 වර්ෂය සඳහා වන වාර්ෂික අයවැය සකස් කිරීමේදී අනුගමනය කිරීමට අපේක්ෂිත පහත සඳහන් ක්‍රියාමාර්ග මුදල් අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පළ කිරීමට තීරණය කරන ලදී:

(අ) ළඟා කර ගැනීමට අපේක්ෂිත සාර්ව ආර්ථික ඉලක්ක (දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස):

* රාජ්‍ය ආදායම - 13.0
* රාජ්‍ය වියදම - 20.6
* අයවැය පරතරය - -7.5
* මධ්‍යම රජයේ ණය - 95.0
* ආර්ථික වර්ධන වේගය - 6.0

එම ඉලක්කයන් සපුරා ගැනීම සඳහා 2022 වර්ෂය තුළ ස්ථාවර විනිමය අනුපාතයක් පවත්වා ගැනීමටත්, උද්ධමනය 5%ක ස්ථාවර අගයක පවත්වාගෙන යාමටත්, සේවා වියුක්ති අනුපාතය 4%ට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමටත් අපේක්ෂා කෙරේ.

(ආ) කොවිඩ් - 19ට එරෙහි ආරක්ෂිත ක්‍රමවේද ශක්තිමත් කරමින් මහජන සෞඛ්‍ය ආරක්ෂා කරන අතරම රට විවෘතව තබා ගැනීම.

(ඇ) ඩිජිටල් තාක්ෂණය රාජ්‍ය සේවාවන් සැපයීම සඳහා යොදා ගැනීම, කොවිඩ් - 19 බලපෑමට ලක් වූ ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය සහන සහ පහසුකම් සලසා දීම, ආනයන ආදේශන පුළුල් කිරීම හා ප්‍රවර්ධනය කිරීම, අපනයනාභිමුඛ ක්ෂේත්‍ර සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීම, ආයෝජනයට හිතකර පරිසරයක් ඇති කිරීම මඟින් සෘජු විදේශ ආයෝජන දිරිමත් කිරීම, රාජ්‍ය ආදායම පුළුල් කිරීම සහ පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර කෙරෙහි යොමු වීම වැනි කරුණු කෙරෙහි විශේෂ ප්‍රමුඛතාවක් ලබා දීම.

(ඈ) දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති හා කාර්යයන් හැර නව ඉදිකිරීම්, කාර්යාල පුළුල් කිරීම්, ලීබඩු හා උපකරණ මිල දී ගැනීම්, අලුතින් බඳවාගැනීම්, අත්‍යවශ්‍ය උපයෝගි වාහන හැර නව වාහන මිල දී ගැනීම් වැනි කටයුතු ආර්ථිකය යථාවත් වන තුරු දැඩි ලෙස අධෛර්යමත් කිරීම.

(ඉ) 2022 වර්ෂය තුළ සෑම රජයේ ආයතනයක්ම තම කාර්යයන් තුළින් ආදායම් ඉපයීමේ නව මාර්ග කෙරෙහි යොමු වීම.