• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීයව නිපදවන මූලික නික්ෂේපන ද්‍රාවණ රාජ්‍ය අංශය සඳහා මිල දී ගැනීම
- සාමාන්‍ය සේලයින්, ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණ, හාට්මාන් ද්‍රාවණ හා මැනිටෝල් ද්‍රාවණ ඇතුළු ශිරා මඟින් ඇතුළු කරන මූලික නික්ෂේපන ද්‍රාවණ බෝතල් මිලියන 43ක් පමණ වාර්ෂිකව නිෂ්පාදනය කිරීමේ ධාරිතාව සහිත කර්මාන්තශාලාවක් පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා දේශීය සමාගමක් වන කෙලූන් ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් පහසුකම් සපයා ඇත. එම කර්මාන්තශාලාව සඳහා සහ එහි නිෂ්පාදන සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති අතර 2021 අගෝස්තු මාසයේ සිට සිය නිෂ්පාදන වෙළෙඳපොළට සැපයීමට එම සමාගම සැලසුම් කර තිබේ. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, දේශීය වශයෙන් අවශ්‍ය නික්ෂේපන ද්‍රාවණ සපයා ගැනීම සඳහා එම සමාගම සමඟ සහයෝගිතාවකට එළඹීමට අපේක්ෂා කරයි. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සඳහා අවශ්‍ය මූලික නික්ෂේපන ද්‍රාවණ, සීමාසහිත කෙලූන් ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගම වෙතින් සපයා ගැනීම පිණිස ගිවිසුමකට එළඹීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත බලය පැවරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.