• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිකරණ පුහුණු ඇකඩමියක් ස්ථාපිත කිරීම
- විනිශ්චයකාරවරුන්ගේ ආයතනය, ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය සඳහා පවතින එකම අධ්‍යාපන ආයතනය වන අතර එමඟින් විනිශ්චයකාරවරුන්ට ප්‍රමාණවත් පුහුණුවක් ලබා ගැනීමට හා ධාරිතාව ගොඩනැංවීම සඳහා ලැබෙන දායකත්වය පිළිබඳව සෑහීමකට පත් විය නොහැක. ලෝකයේ බොහෝ රටවල විනිසුරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීම සහ පුහුණු කිරීම පිණිස විශ්වවිද්‍යාලයන්ට සමාන අන්දමේ පහසුකම්වලින් සමන්විත ආයතන ස්ථාපිත කර පවත්වාගෙන යනු ලබයි. අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනය, නීතිමය ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල්කරණය යන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය සඳහා රජය විසින් ප්‍රමුඛතාව ලබා දී තිබේ. එසේම, අධිකරණ විනිශ්චයකාරතුමන්ලාගේ දැනුම හා කුසලතා වැඩිදියුණු කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ අධිකරණ පුහුණු ඇකඩමියක් ස්ථාපිත කිරීම සඳහා වන නිර්දේශ ලබා ගැනීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බු‍වනෙක අළුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.