• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජල අංශයේ වත්මන් සහ අනාගත අභියෝගයන්ට මුහුණදීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පන‍ත සංශෝධනය කිරීම
- 1974 අංක 2 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනතේ විධිවිධාන පරිදි 1975 දී ස්ථාපිත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ වන විට ජල සම්පාදන ක්‍රම 331ක් ක්‍රියාත්මක කරමින් මිලියන 2.4ක ගෘහස්ථ සබඳතා සහ 207,000ක වාණිජ සබඳතා මෙහෙයවනු ලබයි. ඒ යටතේ රටේ සමස්ත සුරක්ෂිත පානීය ජල ආවරණය වන 93.8%ක ප්‍රමාණයෙන් 43.8%ක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දායකත්වයෙන් සපයනු ලබයි. එසේ වුවත්, පසුගිය වසර කිහිපය තුළ සිදු වී ඇති වේගවත් නාගරීකරණය, කාලගුණික වෙනස්කම්, ජලය සඳහා ඉහළ යමින් පවතින පාරිභෝගික ඉල්ලුම සහ ජල ක්ෂේත්‍රයේ කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීම වැනි කරුණුවලට ඉදිරියේදී මුහුණ දීමට අවශ්‍ය පියවර ගැනීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට සිදු වී ඇත. එම කාර්යයන්ට මුහුණ දීම සඳහා අවස්ථා කිහිපයකදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පන‍ත සංශෝධනය කරනු ලැබ ඇතත්, වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි එම පනත තවදුරටත් සංශෝධනය කළ යුතු බවට හඳුන‍ාගෙන ඇත. ඒ අනුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පන‍තට සිදු කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්ගෙන් යෝජනා සහ නිර්දේශ ලබාගෙන මූලික කෙටුම්පතක් සකස් කිරීමට ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීම පිණිස ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.