• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පැරිස් ගිවිසුමට අදාලව “ජාතිකව නිර්ණය කරන ලද දායකත්වයන්” එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට ඉදිරිපත් කිරීම
- එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශ්ව රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව 1993 වර්ෂයේ සිට කටයුතු කරනු ලබයි. ඒ අනුව, ශ්‍රී ලංකාව 2016 අප්‍රේල් මස 21 දින පැරිස් ගිවිසුමට අත්සන් තබන ලද අතර, එම වර්ෂයේ සැප්තැම්බර් මස 21 දින එම ගිවිසුම අපරානුමත කරනු ලැබ ඇත. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පූර්ව කාර්මිකරණ යුගයේ පැවති මට්ටමට සාපේක්ෂව සෙල්සියස් අංශක 02ට වඩා අඩුවෙන් පවත්වාගෙන යාමත්, එය සෙල්සියස් අංශක 1.5ක මට්ටමේ පවත්වාගෙන යාමට ගත හැකි සියලු ප්‍රයත්නයන් දැරීමත් පැරිස් ගිවිසුමේ ප්‍රධාන අරමුණු වේ. එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පාර්ශ්වකරුවන් විසින් ඉටු කරනු ලබන ක්‍රියාකාරකම් "ජාතිකව නිර්ණය කරනු ලබන දායකත්වයන්" වශයෙන් හඳුන්වා දී ඇත.

ඒ අනුව, 2020-2030 කාල සීමාව තුළ ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කිරීමට හඳුනාගන්නා ලද පළමු "ජාතිකව නිර්ණය කරනු ලබන දායකත්වයන්" අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට 2016 වර්ෂයේදී ඉදිරිපත් කරනු ලැබ ඇත. ප්‍රධාන ක්ෂේත්‍ර 14ක් යටතේ ඉදිරිපත් කරනු ලැබ ඇති එම දායකත්වයන් සෑම වසර 05කට වරක් යාවත්කාලීන කර වඩාත් ඉලක්කගත අයුරින් සකස් කර නැවත ඉදිරිපත් කළ යුතු වේ. 2020 දෙසැම්බර් මාසයේ පැවැත්වීමට තිබූ පාර්ශ්වකරුවන්ගේ 26 වන සැසිවාරයට එම යාවත්කාලීන දායකත්වයන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම සැසිවාරය 2021 නොවැම්බර් මාසය දක්වා කල් තබා ඇත. ඒ අනුව, අදාළ ක්ෂේත්‍රවල පාර්ශ්ව ආයතනයන්ගේ සහභාගිත්වයෙන් රජයේ වර්තමාන ප්‍රතිපත්තියට අනුගත වෙමින් නැවත යාවත්කාලීන කරනු ලැබ ඇති “ජාතිකව නිර්ණය කරන ලද දායකත්වයන්” එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට ඉදිරිපත් කිරීමටත්, එම දායකත්වයන් කාර්යක්ෂම හා ඵලදායී අයුරින් ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමටත් පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.