• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් පාසල් වසා තැබීමේ වකවානුව තුළ ගෘහස්ථ ක්‍රියාකාරකම් තුළින් ළමුන්ගේ ඉගෙනීම පවත්වා ගැනීම
- කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් වසා තැබීමේ වකවානුව තුළ, 'ඉ - තක්සලාව', 'ගුරු ගෙදර' රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන්, ජාතික අධ්‍යාපන ආයතනයේ යූ ටියුබ් නාලිකාව සහ පළාත් මට්ටමේ හා පාසල් මට්ටමේ මාර්ගගත පාඩම් ආදී විකල්ප ක්‍රම මඟින් සිසුන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා පියවර ගනු ලැබ ඇත. කෙසේ වුව ද, පාසල්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ගුරු උපදේශකයින් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පූර්ණ වශයෙන් උපයෝජනය කිරීම, ඉගැන්වීමේ ක්‍රමවේදයන්හි පොදු ප්‍රමිතීන් පවත්වාගෙන යාම, සිසු සහභාගිත්වයේ මට්ටම ගණන් ගැනීම සහ ඉගෙනුම් සාධනය තක්සේරු කිරීම සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු පැන නැගී ඇත. එබැවින්, එම ගැටලුවලට පිළියමක් ලෙස සෞඛ්‍ය නීති සහ මාර්ගෝපදේශ අනුගමනය කරමින් අධ්‍යාපන අංශයේ සියලුම ආයතන සහ මානව සම්පත් උපරිම අයුරින් උපයෝජනය කරගනිමින් ''ගෘහස්ථ ක්‍රියාකාරකම් තුළින් ළමුන්ගේ ඉගෙනීම පවත්වා ගැනීම'' නමින් පහත සඳහන් පරිදි සැලසුම් කර ඇති වැඩසටහනක් 2021 අගෝස්තු මස 01 දින සිට ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* එක් එක් ශ්‍රේණි මට්ටම් සඳහා අපේක්ෂිත ඉගෙනුම් ඵල සමඟ ක්‍රියාකාරකම් ප්‍රමිතිගත කිරීම හා ඒකාබද්ධ කිරීම.

* ගුරුවරුන් විසින් ක්‍රියාකාරකම් නියාමනය කිරීම හා අධීක්ෂණය කිරීම.

* ගුරුවරුන් විසින් සතිපතා සිසුන්ගේ කාර්යසාධනය තක්සේරු කර ශිෂ්‍ය කාර්යසාධන වාර්තා පවත්වාගෙන යාම.

* පාසලේ විදුහල්පති සහ ගුරුවරුන් විසින් දෙමාපියන් සහ සිසුන් සම්බන්ධ කරමින් ගෘහස්ථ ඉගෙනුම් කටයුතු ක්‍රියාත්මක කිරීම.

* ගුරු උපෙද්ශකයින් විසින් ගුරු කාර්යසාධනය අධීක්ෂණය හා නියාමනය කිරීම.

* යෝජිත වැඩසටහන ජාතික මට්ටමින්, පළාත් මට්ටමින් සහ කලාප මට්ටමින් ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටු පත් කිරීම.