• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මඩකලපුව, එරාවුර්, පුන්නෛකුඩාහි රෙදිපිළි නිෂ්පාදනය සඳහා ස්ථාපිත කිරීමට නියමිත විශේෂිත කලාපයේ ආරම්භ කරනු ලබන ව්‍යාපෘති සඳහා 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ විධිවිධාන පරිදි බදු සහන පිරිනැමීම
- කර්මාන්ත ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව මඩකලපුව, එරාවුර්, පුන්නෛකුඩාහි රෙදිපිළි නිෂ්පාදනය සඳහාම විශේෂිත වූ කලාපයක් පිහිටුවීමටත්, එය ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස සලකා කටයුතු කිරීමටත්, 2020 ඔක්තෝබර් මස 26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, එම පනතේ 3(2) වගන්තිය යටතේ යෝජිත කලාපය තුළ ස්ථාපිත කිරීමට නියමිත ව්‍යාපෘති සඳහා ලබා දිය යුතු බදු හා අනෙකුත් නිදහස් කිරීම් පිළිබඳව 2021 අප්‍රේල් මස 20 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, පහත සඳහන් පරිදි පියවර ගැනීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* යෝජිත රෙදිපිළි නිෂ්පාදන කලාපය ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(3) වගන්තිය යටතේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හඳුනා ගැනීම හා පිළිගැනීම.

* එම පනතේ විධිවිධාන පරිදි අදාළ බදු හා අනෙකුත් නිදහස් කිරීම් එකී කලාපය තුළ ස්ථාපනය කරනු ලබන ව්‍යාපෘති සඳහා අදාළ කර ගැනීම.

* එලෙස ලබා දෙන බදු සහ අනෙකුත් සහනයන් නිශ්චිතව දක්වමින් ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය ප්‍රකාරව ගැසට් නිවේදනයක් පළ කිරීම.

* එම පනතේ 3(5) වගන්තිය ප්‍රකාරව එලෙස ප්‍රකාශයට පත් කරනු ලබන බදු සහ අනෙකුත් සහනයන් ඇතුළත් ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.