• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එම්.වී.එක්ස්ප්‍රස් - පර්ල් නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් සිදු වී ඇති සමුද්‍රීය විනාශය පිළිබඳව නෛතික ක්‍රියාදාමය සඳහා පහසුකම් සැපයීම
- එම්.වී.එක්ස්ප්‍රස් - පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක් වීම හේතුවෙන් සිදු වී ඇති සමුද්‍රීය විනාශය සම්බන්ධයෙන් වන නෛතික ක්‍රියාදාමයට අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස අතිගරු ජන‍ාධිපතිතුමාගේ උපදෙස් පරිදි අධිකරණ ඇමතිතුමා විසින් අදාළ අනෙකුත් අමාත්‍යතුමන්ලාගේ සහ නීතිපතිතුමාගේ සහභාගිත්වයෙන් උපදේශන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, එකී උපදේශන වැඩසටහන යටතේ මේ වන විට පහත සඳහන් පියවරයන් ගනු ලැබ ඇත:

* රක්ෂණ වන්දි ලබා ගැනීම පිණිස ගින්නෙන් ඇති වූ හානිය තක්සේරු කිරීම සඳහා අනුකමිටු පහක් පත් කර ඇත.

* වන්දි ඉල්ලීම් හා තොරතුරු ලබා ගැනීම පිණිස භාෂාත්‍රයෙන් පුවත්පත් දැන්වීම් පළ කර ඇත.

* නීතිපතිතුමා විසින් නෞකාවේ හිමිකරුට, කපිතාන්වරයාට සහ දේශීය නියෝජිතායතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව කොළඹ මහාධිකරණයේ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු කර ඇත.

* සමුද්‍රීය ජීවින් මිය යාම පිළිබඳව තොරතුරු විමර්ශනය කිරීම පිණිස වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇත.

* මේ ආකාරයේ අනතුරුවලදී කටයුතු කර අත්දැකීම් සහිත නීති විශේෂඥයින්ගේ සේවය ඉදිරි නීතිමය කටයුතු සඳහා අත්‍යවශ්‍ය බැවින්, ඒ සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීම පිණිස අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති අතර ජාත්‍යන්තර නීති ආයතන 08ක් ඒ සඳහා සිය කැමැත්ත ඉදිරිපත් කර ඇත.

* නීතිපතිතුමා විසින් අදාළ නාවික යාත්‍රාවේ රක්ෂකයා වන ලන්ඩනයේ P & I Club සමඟ පැවති සාකච්ඡාවලදී අතුරු වන්දියක් වශයෙන් රුපියල් මිලියන 720ක් ගෙවීමට එකඟතාව පළ වී ඇත.

ඒ අනුව, අධිකරණ ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කර ඇති උපදේශන ක්‍රියාවලිය මඟින් ගනු ලැබ ඇති ඉහත සඳහන් පියවරයන් සම්බන්ධයෙන් සිය එකඟතාව ලබා දීමටත්, නීතිමය උපදෙස් ලබා දීම සඳහා අභිලාෂ ප්‍රකාශ කර ඇති ආයතන අතුරින් වඩාත්ම යෝග්‍ය ආයතනය තෝරාගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිසත් අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදී.