• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021/2022 මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක සැපයීම
- රට තුළ කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක භාවිතය හා ආනයනය තහනම් කිරීම සඳහා රජය මේ වන විට අවශ්‍ය පියවර ගනු ලැබ ඇත. ඒ අනුව, 2021/2022 මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර සැපයීම සඳහා කඩිනමින් පියවර ගැනීමේ අවශ්‍යතාව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හඳුනාගෙන තිබේ. මේ වන විට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බලපත්‍රලාභී දේශීය කාබනික පොහොර නිෂ්පාදකයින් 27 දෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් 10 දෙනෙකුගේ නිෂ්පාදන ධාරිතාව සැලකිල්ලට ගැනීමේදී 2021/2022 මහ කන්නය සඳහා හෙක්ටයාර 224,000කට අවශ්‍ය කාබනික පොහොර දේශීයව සපයා ගැනීමටත්, තවත් හෙක්ටයාර 100,000ක් සඳහා අවශ්‍ය කාබනික පොහොර, හඳුනාගනු ලබන ගොවීන් වෙත අවශ්‍ය පහසුකම් සලසා දීමෙන් අනතුරුව නිෂ්පාදනය කිරීමටත් හැකියාව පවතී. ඒ අනුව, පහත සඳහන් පරිදි කටයුතු කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක ප්‍රසම්පාදනය කිරීමට අදාළව විශේෂිත ප්‍රසම්පාදන කමිටුවක් සහ එම ප්‍රසම්පාදන කමිටුවට සහාය වීම පිණිස අදාළ විෂයය පිළිබඳ ප්‍රවීණත්වයක් සහිත සාමාජිකයින්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කිරීම.

* 2021/22 මහ කන්නයේ වී වගාව සඳහා හෙක්ටයාර 500,000ක් සඳහා අවශ්‍ය කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ අවශ්‍යතාවන් ජාත්‍යන්තර තරගකාරි ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් රජයට අයත් පොහොර සමාගම් මඟින් ආනයනය කර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ගොවීන් වෙත බෙදා හැරීම.

* අනෙකුත් භෝග හෙක්ටයාර 600,000කට පමණ අවශ්‍ය කාබනික පොහොර එම භෝගවලට අදාළ පර්යේෂණ ආයතනවල නිර්දේශයන්ට අනුකූලව මෙරටට පොහොර ආනයනය කිරීම සඳහා බලපත්‍ර හිමි සමාගම් මඟින් ආනයනය කර අදාළ ගොවීන් වෙත බෙදා හැරීම.

* ආහාර නොවන විසිතුරු පැළෑටි හා කැපුම් මල් වගාවන් හා නිර්පාංශු වගාවන් සඳහා හඳුනාගත් විශේෂිත පොහොර එම භෝගයන්ට අදාළ පර්යේෂණ ආයතනයන්හි නිර්දේශ මත ආනයන බලපත්‍ර ක්‍රමවේදයක් යටතේ ආනයනය කර අදාළ ගොවීන් වෙත බෙදා හැරීම.