• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව පොලිස් මූලස්ථාන සංකීර්ණයක් ඉදිකිරීම
- දැනට පොලිස් මූලස්ථානය යෝර්ක් වීදිය හා චෛත්‍ය පාර සම්බන්ධ වන මාර්ගය මැදි කොට වසර 100කට වඩා පැරණි ගොඩනැඟිලි 03ක පවත්වාගෙන යනු ලබන අතර, එම පරිශ්‍රය තුළ ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීම හේතුවෙන් සිවිල් පරිපාලන කාර්යාලය හා තවත් කොට්ඨාස කිහිපයක් කුලී පදනම මත ලබා ගත් ගොඩනැඟිලිවල පවත්වාගෙන යනු ලබයි. පොලිස් මූලස්ථාන සංකීර්ණය මිරිහාන ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා 2012 ජුලි මස 11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති නමුත්, ඒ අනුව අවශ්‍ය පියවර ගෙන නොමැත. එම තත්ත්වය යටතේ ශ්‍රී ලංකා පොලිසිය සතු පැපිලියාන ප්‍රධාන මාර්ගයේ අංක 142, බෙල්ලන්තොට හන්දිය, අත්තිඩිය පාර, දෙහිවල ලිපිනයෙහි පිහිටි අක්කර 14 යි රූඩ් 02යි පර්චස් 38.50ක ඉඩම පොලිස් මූලස්ථාන සංකීර්ණය ඉදි කිරීම සඳහා වඩාත් යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, පොලිස් මුලස්ථාන සංකීර්ණය මිරිහාන ප්‍රදේශයේ වෙනුවට ශ්‍රී ලංකා පොලිසිය සතු එකී ඉඩමේ ඉදි කිරීමටත්, අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි අවශ්‍ය ගොඩනැඟිලි වෙන් වෙන් ව්‍යාපෘති වශයෙන් හඳුනාගෙන ඉදි කිරීමේ ප්‍රසම්පාදන කාර්යයන් සිදු කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.