• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුල්ලේරියාවේ පිහිටි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අංග සම්පූර්ණ රුධිර කාන්දුපෙරණ ඒකකයක් සහ බෝ නොවන රෝග (NCD) හඳුනාගැනීමේ පහසුකම් සහිත නිදන්ගත වකුගඩු රෝග (CKD) සායනයක් ස්ථාපිත කිරීම
- මුල්ලේරියාවේ පිහිටි නැ‍ඟෙනහිර කොළඹ මූලික රෝහල කොළඹ දිස්ත්‍රික්කයේ විශාල ජනතාවකට ද්විතීයික සෞඛ්‍ය සේවා පහසුකම් සලසනු ලබන අතර වෛද්‍ය, ශල්‍ය, නාරි හා ප්‍රසව සහ ළමා යන සියලුම ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සේවාවන් එම රෝහල මගින් දැනට ලබා දෙනු ලබයි. එසේම, මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති යටතේ එම රෝහල සඳහා ජාතික ආඝාත මධ්‍යස්ථානය, දෙවන මට්ටමේ හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකය, දැඩි සත්කාර ඒකකය (ICU), නව ජන්ම දැඩි සත්කාර ඒකකය (NICU) සහ සිමියුලේෂන් මධ්‍යස්ථානය (Simulation Centre) යන ඒකකයන් අලුතින් පිහිටුවීමට සැලසුම් කර ඇත. ඊට අමතරව, දිනකට රෝගීන් 20 දෙනෙකු සඳහා පහසුකම් සැපයිය හැකි වන පරිදි, රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 12 ක් සහ අවශ්‍ය ශල්‍ය උපකරණ සහිත අංග සම්පූර්ණ රුධිර කාන්දු පෙරණ ඒකකයක් සහ බෝ නොවන රෝග (NCD) සහිත රෝගීන් හඳුනාගැනීමේ පහසුකම් සහිත නිදන්ගත වකුගඩු රෝග (CKD) සායනයක් ජාත්‍යන්තර සිංහ සමාජයේ දිස්ත්‍රික් 306 C1 විසින් ලබා දෙන ප්‍රදානයක් යොදාගෙන එම රෝහලේ ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ දිස්ත්‍රික් 306 C1 අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.