• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් පාලනය වන ජලාශවල රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය
- මහවැලි ජලාශ ඉදිකිරීමේ මූලික අරමුණු අතර, පානීය ජලය සැපයීම, කෘෂිකාර්මික ජලය සැපයීම හා පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සඳහා ප්‍රමුඛතාව ලබා දී ඇත. එහෙත්, එම ප්‍රධාන ජලාශ බොහොමයක රොන්මඩ තැන්පත් වීම හේතුවෙන් ඒවායේ ධාරිතාව සැලකිය යුතු මට්ටමකින් පහළ බැස තිබේ. ඒ හේතුවෙන් එම ජලාශවලින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට අපහසු වී ඇත. රොන්මඩ ඉවත් කිරීමට හා එකී රොන්මඩ වර්ගීකරණයට ලක් කර භාවිතයට සුදුසු පරිදි සැකසීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස සැලසුම් කර තිබේ. ඒ අනුව, පො‍ල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, කලාවැව හා බෝවතැන්න ජලාශ සඳහා අදාළ සියලු කරුණු ඇතුළත්ව අවශ්‍ය මිනුම් කටයුතු හා දත්ත ලබා ගනිමින්, මූලික ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කිරීම සඳහා දේශීයව හෝ අන්තර්ජාතික වශයෙන් උපදේශක සේවාවක් ලබා ගැනීමටත්, ඒ අනුව පිළියෙල කරනු ලබන ශක්‍යතා අධ්‍යයන වාර්තාව පදනම් කර ගෙන එම ජලාශවල රොන්මඩ ඉවත් කිරීම සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීම සඳහා දේශීය හෝ අන්තර්ජාතික පදනමින් තරගකාරී ලංසු කැඳවීම පිණිසත් වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.