• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුතුරාජවෙල තෙත්බිම් කලාපයේ සංරක්ෂණය හා තිරසර භාවිතය
- මීගමු කලපුවෙන් සහ වගුරු බිම් කලාපයකින් යුක්තව හෙක්ටයාර 6,232ක පමණ ප්‍රදේශයක පැතිරී ඇති මුතුරාජවෙල ආශ්‍රිත තෙත්බිම් පරිසර පද්ධතිය ප්‍රදේශයේ පාරිසරික ස්ථායීතාව රැක ගනිමින් නාගරික වැසියන්ගේ සාමාජීය ආර්ථික සුභසාධනය පවත්වාගෙන යාමට මහත් පිටුවහලක් සපයයි. මෙම තෙත් බිම් කලාපය රැක ගැනීමේ අරමුණින් 1991 වර්ෂයේදී මධ්‍යම පරිසර අධිකාරිය සහ මහ කොළඹ ආර්ථික කොමිසම එක් ව සකස් කරන ලද මහා සැලැස්ම (Master Plan) මගින් සංරක්ෂණ කලාපය, ප්‍රේරණ කලාපය සහ මිශ්‍ර නාගරික කලාපය ලෙස ප්‍රධාන ඉඩම් පරිහරණ රටා 03ක් හඳුන්වා දී තිබේ. එමෙන්ම, මෙම කලාපයේ හෙක්ටයාර 1,285.45 ක භූමි ප්‍රමාණයක් වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුතුරාජවෙල අභය භූමිය ලෙස ද, තවත් හෙක්ටයාර 162.1 ක භූමි ප්‍රමාණයක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස ද නම් කර ඇත. කෙසේ වුවද, මේ වන විට සිදු කරනු ලබන අක්‍රමවත් ගොඩ කිරීම්, තෙත් බිම් තුළ විවිධ යටිතල පහසුකම් නිර්මාණය කිරීම, විවිධ කාර්යයන් සඳහා ඉඩම් අත්පත් කර ගැනීම, අනවසරයෙන් අල්ලා ගැනීම් සහ කුණු කසළ බැහැර කිරීම් වැනි හේතුන් නිසා එම පරිසර පද්ධතිය විනාශ වීමේ තර්ජනයට ලක් වී තිබේ. එබැවින්, එම තෙත් බිම් කලාපයේ දිගුකාලීන පැවත්ම සහ එම භූමියේ තිරසර භාවිතය සහතික කිරීම සඳහා පහත සඳහන් පියවර ගැනීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමා සහ පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* මුතුරාජවෙල තෙත්බිම් කලාපය සංරක්ෂණය හා තිරසර භාවිතය සඳහා වර්තමානයට ගැළපෙන පරිදි ප්‍රධාන සැලැස්මක් (Master Plan) කඩිනමින් සකස් කිරීම.

* ඒ සඳහා අදාළ පාර්ශ්වකාර ආයතනවල ප්‍රධානීන්ගෙන්/ නියෝජිතයන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් සහ ක්‍රියාකාරි කමිටුවක් පත් කිරීම.

* මෙහෙයුම් කමිටුවේ නිර්දේශ පරිදි යෝග්‍ය සංරක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන රජයේ/පෞද්ගලික ඉඩම් නාගරික සංවර්ධන පනතේ විධිවිධාන පරිදි අත් කර ගැනීම.

* පහත්බිමක් ලෙස එම පරිසර පද්ධතියේ තිරසර භාවිතය සඳහා අදාළ කටයුතු කිරීමේ වගකීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට පැවරීම.

* ප්‍රධාන සැලැස්ම (Master Plan) යටතේ හඳුනා ගනු ලබන ජාතික රක්ෂිතයක් ලෙස සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ජාතික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම.

* මෙහෙයුම් කමිටුව විසින් සකස් කරනු ලබන ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කරමින් මුතුරාජවෙල තෙත්බිම් කලාපය රැම්සා තෙත්බිමක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.