• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සහ ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ඊඑච්එල් උපදේශක සේවා සමාගම අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- සත්කාරක ක්ෂේත්‍රයේ හා සංචාරක කර්මාන්තයේ තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය 1966 වර්ෂයේදී ස්ථාපිත කර ඇත. දිවයින පුරා සිසුන්ට සත්කාරක ක්ෂේත්‍රයේ අධ්‍යාපන පහසුකම් සලසා දීම සඳහා එම ආයතනයේ පළාත් පාසල්, අනුරාධපුරය, බණ්ඩාරවෙල, පල්ලෙකැලේ, කොග්ගල, රත්නපුර, කුරුණෑගල, යාපනය සහ පාසිකුඩා යන නගරවල පිහිටුවා තිබේ. එම ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ පුහුණු පාසල් මේ වන විට සීග්‍ර වර්ධනයක් ලබා ඇති නමුත් පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ ප්‍රතිරූපය ක්‍රමයෙන් පහළ ගොස් ඇත. එම ආයතනය නැවත ගොඩනැගීමට සහ එහි ප්‍රතිරූපය ඉහළ නැංවීමට හැකි වන පරිදි එම ආයතනයේ අධ්‍යාපන වැඩසටහන්වල ගුණාත්මකභාවය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මැදිහත් වීම මත, ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි EHL උපදේශක සේවා සමාගමේ සහාය ලබා ගැනීමට සැලසුම් කර ඇත. ඒ අනුව, EHL උපදේශක සේවා සමාගමේ සේවය ලබා ගැනීම සඳහා එම ආයතනය සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.