• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ක්ෂුද්‍ර ප්ලාස්ටික් ආශ්‍රිත පර්යේෂණ සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය සමඟ ශ්‍රී ලංකා රජය අවබෝධතා ගිවිසුමකට එළඹීම
- ක්ෂුද්‍ර ප්ලාස්ටික් භාවිතයේ අහිතකර බලපෑම් සෞඛ්‍යය, කෘෂිකර්මය, සංචාරක ආදී ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිද යන බැවින් එම අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් වැඩසටහන් ගණනාවක් ආරම්භ කර ඇත. ඒ ආශ්‍රිත පර්යේෂණ කටයුතු සඳහා සහාය දැක්වීමට එක්සත් රාජධානියේ මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය එකඟතාව පළ කර ඇති අතර, එමඟින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් සම්බන්ධයෙන් දේශීය පර්යේෂණ ධාරිතාව ඉහළ නැංවීම සඳහා සහයෝගය ලැබෙනු ඇත. ඒ සඳහා දෙවසරකට බලපැවැත්වෙන පරිදි අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇති අතර, කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා අදාළ අමාත්‍යාංශවල සහ නීතිපති දෙපාර්තමේන්තුවේ එකඟතාව ලැබී ඇත. ඒ අනුව, එකී ගිවිසුමට එළඹීමටත්, ශ්‍රී ලංකාව සතු පර්යේෂණ ධාරිතාව ඉහළ නැංවීම ඇතුළු ප්ලාස්ටික් කළමණාකරණය ඉලක්ක කර ගනිමින් එම විෂය පථයට අදාළ අමාත්‍යංශ සහ එකී අමාත්‍යංශ යටතේ ඇති ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත අන්තර් ආයතනික කමිටුවක් පත් කිරීමටත් පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.