• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රිය අනතුරු අවම කිරීම වෙනුවෙන් විශේෂ අවධානයක් සමාජය තුළ ඇති කිරීම සඳහා මාර්ග ආරක්ෂණ සතියක් නම් කිරීම
- වර්තමානයේ දිනකට රිය අනතුරුවලින් ‍පුද්ගලයින් 8-10 අතර සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වන අතර, ඔවුන්ගෙන් බහුතර සංඛ්‍යාවක් පිරිමි පුද්ගලයින් වේ. ඒ හේතුවෙන් ඔවුන්ගේ යැපෙන්නන් ඉතා අසරණ තත්ත්වයට පත් වන අතර, වසරින් වසර එම සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනු ලබයි. පසුගිය වර්ෂයේදී මාරක රිය අනතුරු 2023 සිදු වී ඇති අතර, ඉන් පුද්ගලයින් 2114 දෙනෙකු මිය ගොස් ඇත. එම අනතුරුවලින් 963ක් යතුරුපැදි හා සම්බන්ධ අනතුරු වන අතර ඒ හේතුවෙන් 987 දෙනෙකු මිය ගොස් තිබේ. ත්‍රීරෝද හා ලොරි රථ අනතුරු හේතුවෙන් ද වාර්ෂිකව මරණ 500කට ආසන්න සංඛ්‍යාවක් සිදු වන බව වාර්තා වී ඇත. මෙම කරුණු සැලකිල්ලට ගෙන, රිය අනතුරුවලට ලක් වූ වින්දිතයන් සිහි කිරීමේ ජාත්‍යන්තර දිනය වන නොවැම්බර් මස 21 දින සිට මාර්ග ආරක්ෂණ ජාතික සතියක් ක්‍රියාත්මක කිරීමටත්, රිය අනතුරු සිදු වීම අවම කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන, පාසල් සිසුන්, රියදුරන් හා මහජනතාව දැනුම්වත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අවධානය යොමු කොට ඇත. ඒ අනුව, 2021 වර්ෂයේ නොවැම්බර් මස 21 වන ඉරු දින සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමටත්, ඉදිරියේදී වාර්ෂිකව නොවැම්බර් මාසයේදී එවැනි සතියක් පැවැත්වීමටත් ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.