• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සහ අ.පො.ස. (උසස්‍ පෙළ) විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනය කිරීම සහ රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට ගත වන කාලය අවම කිරීම මඟින් අවම කාල සීමාවක් තුළ ප්‍රථම උපාධි සුදුසුකම් ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දීම
- අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සහ අ.පො.ස. (උසස්‍ පෙළ) පන්ති ආරම්භ කිරීම අතර ගත වන කාලය සහ රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීම සඳහා ගත වන කාලය දීර්ඝ වීම හේතුවෙන් සිසු සිසුවියන් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේදී සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේදී ඔවුන්ගේ වයස පිළිවෙළින් අවුරුදු 19-20 ක් සහ අවුරුදු 25-26 ක් පමණ වන බව නිරීක්ෂණය වී ඇත. මෙම විභාග ක්‍රමයන්හි පවතින ව්‍යුහාත්මක නොගැළපීම්, පවත්නා තාක්ෂණික ක්‍රියාපටිපාටිවලට සම්බන්ධ පරිපාලන ප්‍රමාදයන් හේතුවෙන් උසස් අධ්‍යාපනය කඩිනමින් නිම කර රැකියා වෙළෙඳපොළට පිවිසීමට තරුණ තරුණියන්ට අනවශ්‍ය ලෙස කාලය වැය කිරීමට සිදුව තිබේ. එම තත්ත්වය ඔවුන්ට පෞද්ගලිකව මෙන්ම සමස්තයක් ලෙස රටේ ආර්ථික සංවර්ධනයට ද අහිතකර ලෙස බලපාන බව පෙනී ගොස් තිබේ. එබැවින්, ඉදිරියේදී එම තත්ත්වය වැළැක්වීම සඳහා පහත පරිදි පියවර ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* 10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසර 01ක් සහ මාස 09ක කාල සීමාවක් වන සේ ප්‍රතිව්‍යූහගත කිරීම.

* අ‍.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය අගෝස්තු මාසයේ දී සහ අ‍.පො.ස. (උසස් පෙළ) විභාගය දෙසැම්බර් මාසයේදී පැවැත්වීම සහ එක් එක් විභාගයේ ප්‍රතිඵල මාස 03ක් තුළ නිකුත් කිරීම මගින් සමස්ත ක්‍රියාවලිය සඳහා දැනට ගත වන මාස 45ක කාල සීමාව මාස 32 දක්වා අඩු කිරීම සහ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික විධිවිධාන සැලසීම.

* උසස් පෙළ ප්‍රතිඵල නැවත සෝදිසි කිරීමේ ක්‍රියාවලිය අවසන් වන තෙක් නොසිට z අගය මත විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම;

* නැවත සෝදිසි කිරීමේ ක්‍රියාවලිය තුළින් ප්‍රතිඵල උසස් වූ සිසුන් සිටී නම් ඔවුන් සඳහා නව කඩඉම් z අගයන් ලබා දීම මඟින් අදාළ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ඔවුන්ට අවස්ථාව සලසා දීම සහ එම ක්‍රමවේදය 2020 උසස් පෙළ සිට ක්‍රියාත්මක කිරීම.