• Increase font size
  • Default font size
  • Decrease font size

2021-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'තරුණ කේන්ද්‍ර' - ඉහළ බලපෑම් සහිත තරුණ ප්‍රජා මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය
- ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට තම අදහස් හුවමාරු කර ගැනීම තුළින් ඵලදායී සමාජීය ජීවිතයක් ගත කිරීම සඳහා ඔවුන් මුහුණ දෙන අධ්‍යාපනික, සෞඛ්‍යමය, සිවිල් හා දේශපාලන ස්වභාවයේ ගැටලු සඳහා සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් විසඳුම් සොයා ගැනීම පිණිස දැනට තිබෙන පහසුකම් ප්‍රමාණවත් නොවේ. විශේෂයෙන්ම, එවැනි කටයුතු සඳහා සංවිධානය වීමට, ස්වේඡාවෙන් නියැළීමට ප්‍රාදේශීය මට්ටමේ පවතින අවස්ථා සහ ස්ථාන ඉතාම සීමිතය. එම තත්ත්වයට පිළියමක් වශයෙන් තරුණ ප්‍රජාවට ඔවුන්ට හුරුපුරුදු පරිසරයක් තුළ ඒකාරාශී වී අත්දැකීම් හුවමාරු කර ගනිමින් කාලය ඵලදායී ලෙස යෙදවීම සඳහා සුදුසු ස්ථාන නිර්මාණය කිරීම යෝග්‍ය බව හඳුනා ගනු ලැබ ඇත. ඒ සඳහා දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය මට්ටමේ ප්‍රමාණවත් ඉඩකඩ පවතින හා පරිහරණයට නොගන්නා රජයේ පාසල් හෝ වෙනත් ගොඩනැගිලි හඳුනාගෙන බහුවිධ අවස්ථා සහ ක්‍රියාකාරකම් ජනනය කරන ඉහළ බලපෑම් සහිත තරුණ ප්‍රජා මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එවැනි මධ්‍යස්ථානයක් තුළ තරුණ සංවර්ධන කලාපය, තරුණ විනෝදාස්වාද කලාපය, ආර්ථික කලාපය හා හරිත කලාපය යනුවෙන් කලාප 04ක් තුළ විවිධ ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සලසමින්, රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කරමින්, වසර 05ක් තුළ දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තරුණ ප්‍රජා මධ්‍යස්ථාන ඉදි කිරීමට අපේක්ෂිතය. ඒ අනුව, අදියරගතව එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, එහි ප්‍රථම අදියර යටතේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි එවැනි මධ්‍යස්ථාන 25ක් ස්ථාපිත කිරීම පිණිසත් තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.