• Increase font size
  • Default font size
  • Decrease font size

2021-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හා(ර්)ඩි තාක්ෂණික ආයතනය ස්ථාපනය කිරීම
- 1960 දශකයේ පැවති සංවර්ධන අවශ්‍යතාවන්ට සමගාමීව ශ්‍රී ලංකාවේ පළමු බහුකාර්ය ජලාශ ව්‍යාපෘතිය වන ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතිය අරමුණු කර‍ ගෙන කාර්මික නිලධාරින්ට විධිමත් ඉංජිනේරු දැනුමක් ලබා දීම සඳහා කාර්මික පුහුණු ආයතනයක් වශයෙන් ආරම්භයේදී හා(ර්)ඩි තාක්ෂණික ආයතනය ආරම්භ කර ඇත. ඉන් පසු, අවස්ථා කිහිපයකදී එම ආයතනයේ ව්‍යුහය සහ විෂය පථය විවිධාකාරයෙන් වෙනස් වී ඇති අතර මේ වන විට එම ආයතනය ප්‍රධාන උසස් අධ්‍යාපන ධාරාව මග හැරුණු සුදුසුකම් ලත් සිසුන්ට විකල්ප උසස් අධ්‍යාපන අවස්ථාවන් ලබා දීම සඳහා ජාතික ඩිප්ලෝමාව (NVQ - 5) මට්ටම සහ උසස් ජාතික ඩිප්ලෝමාව (NVQ - 6) මට්ටම පිරිනමමින් හා(ර්)ඩි කාර්මික විද්‍යාලය වශයෙන් ද, එම ආයතනය විසින් ඊට පෙර පවත්වන ලද NDT කෘෂිකර්ම පාඨමාලාව, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) යටතේ පිහිටු වන ලද හා(ර්)ඩි උසස් තාක්ෂණික ආයතනය (HATI) මඟින් ක්‍රියාත්මක කරමින් ද, ආයතන දෙකක් වශයෙන් වෙන් වෙන්ව පවත්වාගෙන යනු ලබයි. වත්මන් රජයේ ආර්ථික වැඩ පිළිවෙල අනුව ආර්ථික සංවර්ධනය කඩිනම් කිරීමට මෙන්ම ආර්ථිකය ප්‍රසාරණය කිරීමට ඉවහල් වන ඉහළ තාක්ෂණික දැනුමෙන් පිරිපුන් ව්‍යවසායකයින් බිහි කිරීම උදෙසා මෙම ආයතනයන්හි ව්‍යුහයන් සහ පාඨමාලා අන්තර්ගතය වෙනස් කළ යුතු යයි හඳුනාගෙන ඇති හෙයින් එකී ආයතන දෙක ඒකාබද්ධ කොට "හා(ර්)ඩි තාක්ෂණික ආයතනය" (HIT) නමින් ස්වාධීන ආයතනයක් පිහිටුවීමටත්, ඒ සඳහා අදාළ පනත් සංශෝධනය කිරීම පිණිස පියවර ගැනීමටත් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.