• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඛනිජතෙල් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීම
ඛනිජතෙල් කර්මාන්තයට අදාළ සියලු ක්‍රියාකාරකම්වල වගකීම මුල් අවධියේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත පැවරී තිබුණි. එහෙත්, මේ වන විට පාර්ශ්ව ගණනාවක් එම කටයුතුවල නියැළී සිටී. ඛනිජ තෙල් කර්මාන්තයේ නියාමන ආයතනය වශයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පත් කරනු ලැබ ඇතත් එම ආයතනයේ කාර්යභාරය ලිහිසි තෙල් කර්මාන්තයේ ප්‍රතිපත්ති හා නියාමනයට අදාළව අමාත්‍යාංශයට උපදෙස් දීමට හා සහාය දීමට සීමා වී ඇත. මෙම තත්ත්වය යටතේ ඛනිජ තෙල් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රමවේදයක් ස්ථාපිත වී නොමැත. එබැවින්, පාරිභෝගික පැමිණිලි භාර ගැනීම හා විසඳීම සඳහා ස්වාධීන, විනිවිදභාවයෙන් යුත් යාන්ත්‍රණයක් බලශක්ති අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ ස්ථාපිත කිරීමට යෝජනා කර තිබේ. එම යෝජිත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, පාරිභෝගික සේවා අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය සහ වෙනත් අදාළ රාජ්‍ය ආයතන සම්බන්ධ වනු ඇත. ඒ අනුව, කෙටුම්පත් කර ඇති "පාරිභෝගික අයිතිවාසිකම් හා වගකීම් ප්‍රකාශනය" සහ "පැමිණිලි හැසිරවීමේ සහ ආරවුල් නිරාකරණය කිරීමේ ක්‍රියාපටිපාටිය" ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අදාළ රාජ්‍ය ආයතන සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටත් බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.