• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව තුළ සයික්ලෝට්‍රෝන පාදක විකිරණශීලී ඖෂධ නිෂ්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවීම
විකිරණශීලී ඖෂධයක් වන ෆ්ලෝරෝ ඩියොක්සි ග්‍ලුකෝස් (18F-FDG) ඖෂධය, පිළිකා රෝග නිශ්චය කිරීම සඳහා සිදු කරන PET සහ CT පරීක්ෂණ සඳහා යොදා ගනු ලබයි. එම ඖෂධය නිෂ්පාදනය සඳහා සයික්ලෝට්‍රෝන නම් විශේෂ උපකරණයක් භාවිත කරන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ පහසුකම් නොමැති බැවින්, එම විකිරණශීලී ඖෂධය ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබේ. එම ඖෂධයේ පවතින විකිරණශීලී ක්ෂය වීමේ ස්වභාවය හේතුවෙන් ඉන්දියාවෙන් ආනයනය කිරීමේදී ඖෂධයේ ධාරිතාවයෙන් 97%ක් පමණ අහිමි වන අතර, ඉතිරි ධාරිතාවයෙන් රෝගීන් 10 දෙනෙකුට පමණක් ප්‍රතිකාර කිරීමට හැකියාව පවතී. එම හේතුවෙන්, වාර්ෂිකව රෝගීන් 30,000ක් පමණ අදාළ පරීක්ෂාවට ලක් කිරීම සඳහා අවශ්‍යතාව පැවතියද, අදාළ පරීක්ෂාවට ලක් කිරීමට හැකි වී ඇත්තේ රෝගීන් 1,600ක් පමණ සංඛ්‍යාවකි. එම ආනයනික ඖෂධය භාවිත කර රෝගියෙකු පරීක්ෂා කිරීම සඳහා රජයට රුපියල් 54,000ක් පමණ වැය වන අතර, දේශීයව එම ඖෂධය නිෂ්පාදනය කරනු ලැබුවහොත් අදාළ වියදම රුපියල් 14,000 දක්වා අඩු කර ගැනීමේ හැකියාව පවතින බව ද පෙනී ගොස් ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සහයෝගයෙන් ෆ්ලෝරෝ ඩියොක්සි ග්‍ලුකෝස් (18F-FDG) ඖෂධය නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයක් වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.