• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් සේවා පහසුකම් ලබා ගැනීම
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සපයනු ලබන සේවා ලබා ගැනීම සඳහා එහි ප්‍රධාන කාර්යාලයට, වේරහැර කාර්යාලයට, දිස්ත්‍රික් මට්ටමේ කාර්යාලයන්ට දිනකට විශාල සේවාලාභීන් සංඛ්‍යාවක් පැමිණේ. ඒ හේතුවෙන් සේවාලාභීන් මෙන්ම දෙපාර්තමේන්තු සේවකයින් ද ඇතැම් අවස්ථාවලදී අපහසුතාවලට ලක් වන බැවින් එම තත්ත්වයට පිළියමක් වශයෙන් කල්වේලා ඇතිව සිය සේවාවන් සඳහා වේලාව වෙන් කර ගැනීම, ඒ සඳහා අංකයක් ලබා ගැනීම, සේවා අවශ්‍යතා අනුව සේවා අංශ වෙත ප්‍රවේශ වීමට මග පෙන්වීම හා කෙටි පණිවුඩ මඟින් අදාළ තොරතුරු සේවාලාභීන් වෙත දැනුම් දීම වැනි කාර්යයන් සඳහා නවීන තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිත කරමින් පිළියම් යෙදීමට සැලසුම් කර ඇත. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමටත්, පළමු අදියර යටතේ එම ව්‍යාපෘතිය නාරාහේන්පිට, වේරහැර සහ මාර්ගගත පහසුකම් සහිත දිස්ත්‍රික් කාර්යාල 05ක ක්‍රියාත්මක කිරීමටත්, ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ඉතිරි දිස්ත්‍රික් කාර්යාල 19 සඳහා ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමටත් ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.