• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
COVID-19 වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන පද්ධතිය තුළ ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ගුවන් විදුලි සේවා සහාය ලබා ගැනීම
- COVID-19 වසංගත තත්ත්වය හමුවේ පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා 3 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා විෂයන් ආවරණය කරමින් "අයි නාලිකාව" සහ "නේත්‍රා නාලිකාව" ඔස්සේ "ගුරු ගෙදර" අධ්‍යාපනික වැඩසටහන් විකාශය කරනු ලබයි. ඒ අනුව, දැනට රූපවාහිනිය මඟින් විකාශය කරනු ලබන අධ්‍යාපනික වැඩසටහන් ආවරණය නොවන ප්‍රදේශ සඳහා ගුවන් විදුලි නාලිකාවන් භාවිත කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත. ගුවන්විදුලිය මඟින් අධ්‍යාපන වැඩසටහන් විකාශය කිරීමේදී ගුවන්විදුලිය මෙන්ම සුහුරු දුරකථන මඟින් ද එම වැඩසටහන්වලට සවන්දීමේ හැකියාව පවතින බැවින් සිසුන් වැඩි පිරිසකට එම අධ්‍යාපන වැඩසටහන් ශ්‍රවණය කිරීමේ අවස්ථාව ලැබෙනු ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජාතික ගුවන්විදුලි නාලිකා සහ ප්‍රාදේශීය ගුවන්විදුලි නාලිකා මඟින් එවැනි අධ්‍යාපන වැඩසටහන් විකාශය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.