• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම (SLA) සඳහා භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් කල්බදු පදනම මත ලබාගැනීම
- ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන්යානා බලඇණිය වඩා පිරිමැසුම්දායී පටු බඳ සහිත ගුවන්යානා විශාල ප්‍රමාණයකින් සමන්විත වී ඇත. ඒ හේතුවෙන් මෑත වසරවලදී උපරිම ප්‍රතිලාභ ලබා දෙන වෙළෙඳපළවල මගී ගුවන් ගමන් මාර්ග ජාලය කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කර තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් භාණ්ඩ අපනයන කාර්යයන්ට සහාය වීම සඳහා සුදුසු ගුවන්යානා නොමැති වීමෙන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන විභවතාව නිසි අයුරින් ප්‍රයෝජනයට ගෙන නොමැත. කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් මගී ගුවන්සේවා සීමාසහිත වීමත් සමඟ බොහෝ ගුවන් සමාගම් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කෙරෙහි අවධානය යොමු කර ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගම ගමනාන්ත 26ක් සඳහා දැනට භාණ්ඩ ප්‍රවාහන ගුවන් මෙහෙයුම් පවත්වා ගෙන යන අතර, වර්තමාන වෙළඳපල වෙනස්කම් සැලකිල්ලට ගැනීමේදී ප්‍රධාන ගුවන් මාර්ගවල භාණ්ඩ ප්‍රවාහන වෙළෙඳපල කොටස සඳහා පිවිසීමට මෙය හොඳ අවස්ථාවක් බව පෙනී ගොස් ඇත. එබැවින්, භාණ්ඩ ප්‍රවාහන විභවතාව සැලකිල්ලට ගෙන, ශ්‍රීලංකන් ගුවන් සාමගමේ දැනට පවතින ව්‍යාපාර ආකෘතිය උපායමාර්ගිකව වෙනස් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සාමගම වෙත කල් බදු පදනම මත භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් ලබා ගැනීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.