• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනය (NIA) ආයතනිකකරණය
- ජාතික නවෝත්පාදන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම, වැඩිදියුණු කර පවත්වාගෙන යාම පිණිස අමාත්‍යාංශ, ආයතන සහ පෞද්ගලික අංශය සම්බන්ධීකරණය කිරීම සහ නවෝත්පාදන අදහසේ සිට වෙළෙඳ පොළ දක්වා අදාළ නවෝත්පාදනයන් සඳහා අවශ්‍ය සහාය ලබා දීම පිණිස 2019 අංක 22 දරන පාර්ලිමේන්තු පනතින් ජාතික නවෝත්පාදන නියෝජ්‍යාතනය (NIA) ස්ථාපිත කරනු ලැබ ඇත. ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනය ආයතනිකකරණය කිරීමේ කාර්යය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යයක් වශයෙන් හඳුනාගනු ලැබ තිබේ. දැනට එකී රාජ්‍ය අමාත්‍යාංශය යටතේම ක්‍රියාත්මක වන විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රය හා සම්බන්ධ කාර්යයන් සඳහා පිහිටුවා ඇති විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (COSTI) ජාතික විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ අධිකාරිය (NASTICA) වශයෙන් ස්ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2017 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. යෝජිත ජාතික විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ අධිකාරියේ (NASTICA) අරමුණු හා කාර්යයන් ද බොහෝ දුරට ජාතික නවෝත්පාදන නියෝජ්‍යාතනය (NIA) කාර්යයන් හා සමාන වේ. එබැවින් එම අධිකාරිය පිහිටුවීමේ කටයුතු අත්හිටු වීමටත්, විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (COSTI) සඳහා වෙන් වී ඇති අරමුදල් සහ අනෙකුත් සම්පත් භාවිත කරමින් ජාතික නවෝත්පාදන නියෝජ්‍යාතනය (NIA) ආයතනිකකරණය කිරීම පිණිසත් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.