• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගම සමඟ පිළිසඳර' වැඩසටහන මඟින් හඳුනාගත් මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි වත්තේගෙදර වැව ඉදිකිරීම
- මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හිඹිලියාකඩ පැවති 'ගම සමඟ පිළිසඳර' වැඩසටහනේදී හිඹිලියාකඩ වැවෙන් පෝෂණය වන අක්කර 1,300ක ඉඩම් සඳහා පවතින ජල හිඟය සඳහා පිළියම් යෙදීම මඟින් සහ අලුතින් වගා කළ හැකි තවත් ඉඩම් අක්කර 1,010කට පමණ ජලය ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම මඟින් කෘෂිකර්මය ජීවනෝපාය කරගත් දූගී ජනතාවට ඉහළ ආදායම් මාර්ගයක් සලසා දීමට තීරණය වී ඇත. ඒ අනුව, ගැඹුරු ඔය හරහා වත්තේගෙදර වැව සහ දොඩම්ගොල්ල වැව ඉදි කර කළු ගඟ ජලාශයේ දකුණු ඉවුර ප්‍රධාන ඇළේ සිට මීටර 1,800ක දිග උමං මාර්ගයක් හරහා වත්තේගෙදර වැවටත්, හිඹිලියාකඩ වැවටත් ජලය සැපයීමට හැකි වන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපෘතියක් සැලසුම් කර ඇත.

යෝජිත ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 7,155ක් පමණ වන අතර, ඉදි කිරීම් කටයුතු 2021-2023 වසර 03ක කාලයක් තුළ නිම කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් 2021 වර්ෂය තුළදී වත්තේගෙදර වැව ඉදි කිරීමේ කටයුතු ආරම්භ කිරීමටත්, ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2021-2023 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ වෙන් කර ගැනීමටත් වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.