• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම
- හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ සිදු වෙමින් පවතින වේගවත් සංවර්ධන ව්‍යාපෘති සමඟ වන අලි ඇතුළු අනෙකුත් වන ජීවීන්ගේ වාසස්ථාන හා සංක්‍රමණ මාර්ගවලට දැඩි ලෙස බලපෑම් ඇති වෙමින් පවතී. මෙම තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල අලි මිනිස් ගැටුම් දිනෙන් දින උග්‍රවෙමින් පවතින අතර, ඊට පිළියමක් වශයෙන් වන අලින්ගේ සංක්‍රමණ මාර්ග විහිදී ඇති ආකාරය පර්යේෂණ මඟින් තහවුරු කර ගෙන වන අලින් සහ අනෙකුත් ජීවීන් සඳහා වන අලි කළමනාකරණ රක්ෂිතයක් ප්‍රකාශයට පත් කිරීමට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය මූලික පියවර ගනු ලැබ ඇත. ඒ අනුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම් හෙක්ටයාර 23,746.55ක භූමියක් යෝජිත රක්ෂිතය සඳහා හඳුනා ගෙන ඇත. ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ හා රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ එකඟත්වය මත කෙටුම්පත් කරනු ලැබ ඇත. එකී ගැසට් නිවේදනය සඳහා නීති කෙටුම්පත් සම්පාදකගේ එකඟතාව ලබා ගැනීමෙන් අනතුරුව, රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට වාරිමාර්ග අමාත්‍යතුමා සහ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.