• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය යටතේ බෙදාහැරීම් තරාපැවි (ට්‍රාන්ස්පෝමර) වලට සම්බන්ධ කර පුද්ගලික අංශයේ ආයෝජන යටතේ ක්‍රියාත්මක කරන 100kW සූර්ය බල ජනන වැඩසටහන
- "සෞභාග්‍යයේ දැක්ම" රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගතව කටයුතු කරමින් වසර 2030 වන විට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් උපරිම ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර, එම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වැඩි වශයෙන් පෞද්ගලික අංශයේ ආයෝජනයන් යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලැබේ. ඒ අනුව, දැනට ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට අයත් විදුලිය බෙදා හැරීමේ ට්‍රාන්ස්පෝමර 7,000ක් සඳහා පොළොව මත ක්‍රියාත්මක වන සූර්ය බලාගාර සම්බන්ධ කර පුනර්ජනනීය විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එම ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් එක් ට්‍රාන්ස්පෝමරයකට එක් සූර්ය බලාගාර ව්‍යාපෘතියක් බැගින් ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපාර නාම ලේඛනයේ ලියාපදිංචි වී ඇති පුද්ගලයින් හා ආයතන වෙතින් තරගකාරී පදනම මත ලංසු කැඳවා ආයෝජකයින් තෝරා ගැනීමටත් අපේක්ෂා කරනු ලබයි. එක් සූර්ය බලාගාරයක් ඉදි කිරීම සඳහා වන ආයෝජනය රුපියල් මිලියන 12ක් පමණ වන අතර අදාළ ට්‍රාන්ස්පෝමරයට ආසන්නව පිහිටි පර්චස් 40ක භූමි භාගයක් තුළ අදාළ සූර්යබල පද්ධතිය ස්ථාපනය කළ යුතු වේ. ඒ අනුව, විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, කඩිනම් ව්‍යාපෘතියක් වශයෙන් යෝජිත ව්‍යාපෘතිය මාස 18ක් තුළ ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.