• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුම්රිය මගී මැදිරි දේශීයව නිෂ්පාදනය කිරීම
- වර්තමාන අවශ්‍යතාවන් අනුව මගී දුම්රිය මැදිරි 700ක් පමණ අවශ්‍ය වන අතර, ඉදිරි වසර 05ක කාලය සඳහා දුම්රිය මැදිරි අවශ්‍යතාව 800ක් පමණ දක්වා වැඩි විය හැකි බවට ඇස්තමේන්තු කර ඇත. දැනට පවතින දුම්රිය මැදිරි විවිධ වයස් කාණ්ඩයන්ට අයත් වන අතර, ඉන් 30%ක් වසර 30ක් ද, 60%ක් වසර 25-30 අතර කාලයක් ද පැරණි ඒවා වන අතර, 10%ක ප්‍රමාණයක් වසර 12ක් හෝ ඊට අඩු කාලයක් තුළ සේවයේ යොදවා ඇත. ඉදිරියේදී ඉන්දියාවෙන් ලැබීමට නියමිත මැදිරි 160 සහ අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය මඟින් ලබා ගැනීමට අපේක්ෂිත මැදිරි 140 මඟින් මුළු මැදිරි අවශ්‍යතාවයෙන් 42%ක් පමණක් සපුරාලනු ලබයි. එබැවින්, සමස්ත මැදිරි ඇණියෙන් 50%ක් අලුත් මැදිරි යෙදීමෙන් හෝ පුනරුත්ථාපනය කිරීම මඟින් කඩිනමින් සපයා ගත යුතුව ඇත. ඒ අනුව, එම තත්ත්වයට පිළියමක් වශයෙන් පෞද්ගලික අංශයේ සහභාගිත්වය ඇතිව දුම්රිය මැදිරි 100ක් නිෂ්පාදනය කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ආයෝජකයෙකු තෝරා ගැනීම පිණිස ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.