• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ සාදනු ලබන නියෝග හා නියමයන් සංශෝධනය කිරීම
- 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විමසමින්, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව, එකී පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා නියෝග ප්‍රකාශයට පත් කිරීමේ බලය මුදල් විෂයභාර අමාත්‍යවරයාට පැවරේ. ඒ අනුව, 2017 අංක 01, 2017 අංක 02 සහ 2017 අංක 03 දරන නියෝග ප්‍රකාශයට පත් කර ඇති අතර, පනතේ 8 වන වගන්තිය සහ 31 වන වගන්තිය යටතේ සාදන ලද නියමයන් නිකුත් කරනු ලැබ ඇත. එකී නියෝග සහ නියමයන් වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන තිබේ. ඒ අනුව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන පරිදි පහත සඳහන් පියවරයන් ගැනීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* පහත සඳහන් නියෝග ප්‍රකාශයට පත් කිරීම සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.

i 2021 අංක 1 දරන විදේශ විනිමය (ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවෙන් පිටත සිදු කරනු ලබන ප්‍රාග්ධන ගනුදෙනු වර්ග) නියෝග

ii 2021 අංක 2 දරන විදේශ විනිමය (ශ්‍රී ලංකාවේ පිටත නේවාසික තැනැත්තකු විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලබන ප්‍රාග්ධන ගනුදෙනු වර්ග) නියෝග

iii 2021 අංක 3 දරන විදේශ විනිමය (විගාමිකයන් විසින් අරමුදල් ප්‍රේෂණය කිරීම) නියෝග

iv 2021 අංක 4 දරන විදේශ විනිමය (විවිධ ප්‍රාග්ධන ගනුදෙනු වර්ග) නියෝග

v 2021 අංක 5 දරන විදේශ විනිමය (විදේශ විනිමය ගනුදෙනුවල නිරත වීමේ කාර්යය සඳහා ගිණුම් විවෘත කිරීම හා පවත්වා ගෙන යාම) නියෝග

* එම පනතේ 8 වන වගන්තියට සහ 31 වන වගන්තියට අනුකූල වන පරිදි නියමයන් සෑදීම.