• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ පළමු ජනන-ගබඩාකරණ ජල විදුලි බලාගාරය (Pumped Storage Hydropower Plant) ක්‍රියාත්මක කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම
- ඇතැම් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් විදුලිය ජනනය කිරීමේදී සිදු වන විචලනය වීමේ ස්වභාවය සහ ස්ථාවර නොවීම හේතුවෙන් එවැනි බලශක්ති බලාගාර ප්‍රධාන විදුලිබල පද්ධතියට වැඩි වශයෙන් එක් කර ක්‍රියාත්මක කිරීමේදී තාක්ෂණික ගැටලුවලට මුහුණ පෑමට සිදු වී ඇත. එම තත්ත්වයට මුහුණ දීම සඳහාත්, අති‍රික්ත විදුලි ජනන ධාරිතාව ගබඩා කිරීම සඳහාත්, "ජනන ගබඩාකරණ ජල විදුලි බලාගාර (Pumped Storage Hydropower Plant)" ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. 2018-2037 දිගු කාලීන විදුලි ජනන සැලැස්ම යටතේ ජනන ගබඩාකරණ ජල විදුලි බලාගාරයක් අදියර 03ක් යටතේ 2025 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ද හඳුනාගෙන ඇත. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද අධ්‍යයනයකට අනුව යෝජිත බලාගාරය ඉදි කිරීම සඳහා මාඔය නිම්නයේ අරනායක ප්‍රදේශය සහ මහනුවර වැව තැන්න ප්‍රදේශය සුදුසු බවට හඳුනාගෙන ඇත. එම ස්ථාන දෙක අතුරින් වඩාත් සුදුසු ස්ථානය හඳුනාගෙන ඒ පිළිබඳව පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය අදහස් කරයි. ඒ සඳහා අවශ්‍ය අරමුදල් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වන "හරිත බලශක්ති සංවර්ධන සහ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ආයෝජන ව්‍යාපෘතියේ" ඉතිරිව පවතින මුදල්වලින් සපුරා ගැනීමට හැකියාව පවතී. ඒ අනුව, එම ව්‍යාපෘතියට අදාළව පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.