• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ පොල් ක්ෂේත්‍රය නියාමනය කරනු ලබන සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා පොල් සංවර්ධන පනත සංශෝධනය කිරීම
- 1971 අංක 46 දරන පොල් සංවර්ධන පනත යටතේ වගාව, කර්මාන්තය හා පර්යේෂණ යන ක්ෂේත්‍ර සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය හා පොල් පර්යේෂණ ආයතනය ස්ථාපිත කර ඇත. තවද, 2005 අංක 31 දරන කප්රුක අරමුදල පනත මඟින් කප්රුක අරමුදල කළමනාකරණ මණ්ඩලය ස්ථාපිත කර ඇත. පොල් ක්ෂේත්‍රය නියාමනය ඇතුළු සියලු කටයුතු සම්බන්ධීකරණයට අදාළව එම ආයතන පිහිටුවා ඇති නමුත් වර්තමානය වන විට එම ආයතන අතර කාර්යක්ෂම සම්බන්ධීකරණයක් නොපැවතීම හේතුවෙන් සේවාදායකයින්ට අපේක්ෂිත මට්ටමට සේවාවන් ලබා දීමට අපොහොසත් වී ඇත. එම ආයතන විසින් සිදු කරන ඇතැම් කාර්යයන් ද්වීකරණය වීමත් සේවා දායකයින්ට සිය සේවාවන් සපුරා ගැනීම සඳහා ආයතන කිහිපයක් සමඟ සම්බන්ධවීමට සිදු වීමත්, එම ආයතන පවත්වාගෙන යාම සඳහා සැලකිය යුතු පිරිවැයක් දැරීමට සිදුවීමත්, යන කරුණු සැලකිල්ලට ගෙන, එම ආයතන 4 එක් ආයතනයක් වශයෙන් ඒකාබද්ධ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, එම ආයතන ඒකාබද්ධ කර "පොල් වගා හා ආශ්‍රිත කර්මාන්ත සංවර්ධන අධිකාරිය" යනුවෙන් නව ආයතනයක් ස්ථාපිත කිරීමට හැකි වන පරිදි 1971 අංක 46 දරන පොල් සංවර්ධන පනත සංශෝධනය කිරීම පිණිස වැවිලි අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.