• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම
- ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රියාව අතර පිහිටි ගොඩබිමින් වට වූ කුඩා රාජ්‍යයක් වන ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත සහ ව්‍යවස්ථාදායක රජතුමකු රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන රටකි. ප්‍රධාන වශයෙන් ඖෂධ, සියුම් නිරවද්‍ය උපකරණ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ නිපදවන ඉහළ කාර්මික රටක් වන එය ලෝකයේ ධනවත්ම රටක් වශයෙන් සලකනු ලබයි. පසුගිය වර්ෂයේ එරට දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.8ක් වන අතර, ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 143,700ක් පමණ වේ. සංවර්ධිත බැංකු පද්ධතියක් සහිත ආයෝජන ආකර්ශනය කර ගත්, අඩු ආදායම් බදු ක්‍රමයක් පවතින යුරෝපීය ආර්ථික කලාපයේ සාමාජික රටක් වන ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජිකයෙකු වන අතර, ඉන්දියාව හා පාකිස්ථානය ඇතුළු බොහෝ රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගෙන යනු ලබයි. දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගිතාව ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික මට්ටමින් වැඩිදියුණු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර ගැනීම පිණිස ලිච්ටෙන්ස්ටයින් රජය කැමැත්ත ප්‍රකාශ කර තිබේ. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමෙන් ආයෝජන සහ ඉහළ වියදම් දරන සංචාරකයින් ආකර්ශනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත. ඒ අනුව, ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර ගැනීම පිණිස විදේශ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.