• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමස්ත වැවිලි ප්‍රජාව ඉලක්ක කරමින් වඩාත් සුරක්ෂිත වාසස්ථාන හිමි කර දීම සඳහා පවතින වතු නිවාස යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම
- වතු ප්‍රජාව සඳහා ලයින් කාමර වෙනුවට නව නිවාස ඉදිකිරීමේ 'වතු නිවාස යෝජනා ක්‍රමය' 2000 වර්ෂයේ සිට මේ දක්වා විවිධ ක්‍රමවේද ඔස්සේ ක්‍රියාත්මක වී ඇත. මේ වන විට රජයේ අනුග්‍රහය මත පර්චස් 7ක සින්නක්කර ඉඩම් අයිතිය සහිත වර්ග අඩි 550ක නිවසක් ලබා දීමේ ව්‍යාපෘතිය සහ ඉන්දියානු රජයේ හා ශ්‍රී ලංකා රජයේ සහයෝගිතාව මත වර්ග අඩි 550ක නිවසක් ලබා දීමේ ව්‍යාපෘතිය වශයෙන් ව්‍යාපෘති 02ක් ක්‍රියාත්මකව පවතී. මෙම යෝජනා ක්‍රමයන් යටතේ නිවාස ලබා දීමේදී අනුගමනය කරන ක්‍රියාපටිපාටිය වෙනස් වීම මත විෂමතාවක් නිර්මාණය වී තිබීම හේතුවෙන් වතු ප්‍රජාව සඳහා නිවාස ලබා දීමේදී පොදු එක් ක්‍රමවේදයක් අනුගමනය කිරීම සඳහාත්, ඒ යටතේ පහත සඳහන් පරිදි අවශ්‍ය පියවර ගැනීම සඳහාත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* දැනට පවතින ලයින් කාමර ඉවත් කර එම ස්ථානයේම නව නිවාස ඉදි කිරීම.

* ගංවතුර/නායයෑම් වැනි ආපදා අවදානම් පවතින්නේ නම් හා ලයින් කාමර පිහිටි ස්ථානවල ඉඩකඩ ප්‍රමාණවත් නොවන්නේ නම් වෙනත් ස්ථානවල නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම.

* පසුකාලීනව අදාළ නිවාස මහල් 2ක් වශයෙන් වැඩි දියුණු කිරීමට හැකි වන පරිදි වර්ග අඩි 550කින් සමන්විතව නිවසේ පළමු අදියර රුපියල් මිලියන 1.3ක් වැය කර ඉදි කිරීම.

* සත්ත්ව පාලනය හා ගෙවතු වගාව සඳහා අමතරව පර්චස් 03ක් සෑම නිවාස ප්‍රතිලාභියෙකුටම වෙන් කර දීම.

* නිවාස ඉදි කිරීමේ වටිනාකමින් 50% ක් පමණක් ප්‍රතිලාභීන්ගෙන් ආපසු අය කර ගැනීම සහ ඒ සඳහා වසර 20ක කාලයක් ලබා දීම.

* ලයින් කාමර පිහිටි ස්ථානයේ නව නිවාස ඉදි කරන තෙක් ඊට ආසන්න වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචි වීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම.