• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත, 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ 2005 අංක 25 දරන ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත සංශෝධනය කිරීම
- මුල්‍ය කාර්යසාධක බලකායේ නිර්දේශයන්ට අනුකූලව සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුව විසින් අනුමත කළ, නීති සමාලෝචන කමිටුව සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම විසින් හඳුනාගෙන ඇති අඩු ලුහුඩුකම් ආවරණය වන පරිදි මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතට සංශෝධන හඳුන්වා දීම සඳහා 2010 මැයි මස 05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, අදාළ සංශෝධන කෙටුම්පත් කිරීමේ කාර්යය ආරම්භ කර ඇති අතර ඉන් අනතුරුව, 2014/2015 වසර තුළ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම විසින් සිදු කරන ලද අන්‍යොන්‍ය ඇගයීමේදී ඊට පෙර හඳුනාගන්නා ලද සංශෝධනයන්ට අතිරේකව තවදුරටත් සිදු කළ යුතු සංශෝධන කිහිපයක් හඳුනාගනු ලැබ ඇත. නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, මූල්‍ය බුද්ධි ඒකකය ඇතුළු අදාළ ආයතනවල නියෝජිතයින්ගෙන් සැදුම් ලත් කමිටුවක් විසින් සකස් කරන ලද කෙටුම්පත 2017 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය කණ්ඩායම විසින් ද පරීක්ෂා කර බලනු ලැබ ඇත. ඒ අනුව, හඳුනාගනු ලැබ ඇති ගැටලු ආමන්ත්‍රණය වන පරිදි පහත සඳහන් පනත් සංශෝධනය කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත

* 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත

* 2005 අංක 25 දරන ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත