• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතට සංශෝධන
- 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත මඟින් වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට ප්‍රතිලාභ රැසක් හිමි වී ඇත. එහෙත්, එම පනතේ 10 වන වගන්තියේ විධිවිධාන පරිදි ඇප ලබා ගැනීම සඳහා අභියාචනාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු අතර, ඒ හේතුවෙන් සැකකරුවන්ට හා චූදිතයින්ට දැඩි පීඩාවකට ලක්වීමට සිදුව ඇත. විශේෂයෙන්ම, අභියාචනාධිකරණය කොළඹ පිහිටා තිබීම හේතුවෙන් ඉතා දුර ප්‍රදේශයක පදිංචි සැකකරුවන්ට අදාළ ඇප ඉල්ලීම් ඉදිරිපත් කිරීමේදී අපහසුතාවලට මුහුණ දීමට සිදු වන බැවින් අභියාචනාධිකරණය වෙනුවට ඇප ලබා දීමේ අධිකරණය මහාධිකරණය වශයෙන් සංශෝධනය කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත. එසේම, "නඩු විභාගයක් අවසන් වන තෙක් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තැබිය යුතුය" යන විධිවිධානය "අධිකරණය විසින් සාධාරණ යැයි සලකනු ලැබිය හැකි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිය යුතුය" යනුවෙන් සංශෝධනය කිරීම සුදුසු බවත් හඳුනාගෙන ඇත. ඒ අනුව, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.