• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ ක්‍රියාත්මක වන වන්දි ගෙවීම සඳහා සූත්‍රයේ උපරිම වන්දි සීමාව සංශෝධනය කිරීම
- 2003 අංක 12 දරන පනතින් සංශෝධනය කර ඇති 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේදී සහන ලබා දීමේ අරමුණින් පනවනු ලැබ ඇත. එම පනතේ විධිවිධාන පරිදි කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේදී ඔවුන්ට ගෙවිය යුතු වන්දි මුදල තීරණය කිරීම සඳහා සූත්‍රයක් හඳුන්වා දී ඇත. ඒ අනුව, කම්කරු ඇමතිතුමා විසින් පනවන ලද රෙගුලාසි පදනම් කරගෙන කම්කරුවන් සේවය කළ සේවා කාලය සැලකිල්ලට ගනිමින්, වන්දි මුදල තීරණය කරනු ලැබේ. එ‍ෙස් වුවද, එම සූත්‍රයට අනුව ගණන් බලනු ලබන වන්දි මුදල රුපියල් 1,250,000කට වඩා නොවැඩි විය යුතු බවට වන විධිවිධානයක් ද එකී රෙගුලාසිවලට ඇතුළත්ව ඇති බැවින්, අසාධාරණ ලෙස කම්කරුවන් සේවයෙන් ඉවත් කිරීමේදී සහ ආයතන වසා දැමීම හේතුවෙන් රැකියාව අහිමි වීමේදී ඉහළ මාසික වැටුප් ලබන සේවකයින්ට හිමි වන වන්දි මුදල අඩු මට්ටමක පවතින බව නිරීක්ෂණය වී ඇත. එම කරුණු සැලකිල්ලට ගනිමින් ගෙවිය හැකි උපරිම වන්දි මුදලේ සීමාව රුපියල් 1,250,000 සිට රුපියල් 2,500,000 දක්වා ඉහළ දැමීම පිණිස කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.