• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් - 19 එන්නත් ලබාගැනීම පිණිස ගිවිසුම්ගත වීම
- කොවිඩ් - 19 ‍ෛවරසය සඳහා සුරක්ෂිත සහ ඵලදායී එන්නතක් නිෂ්පාදනය කළ පසු එකී එන්නත සමාන වශයෙන් රටවල් අතර බෙදාහැරීම තහවුරු කිරීම සඳහා රජයන් සහ අදාළ නිෂ්පාදකයින් ඒකාබද්ධ කරනු ලබන ගෝලීය ප්‍රවේශය කොවැක්ස් පහසුකම වශයෙන් හැඳින්වේ. ඒ යටතේ කොවිඩ් - 19 වෛරසය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීම සහ වැඩිදියුණු කිරීම කඩිනම් කරන අතර, ලෝකයේ සෑම රටකටම එකී එන්නත ලබා ගැනීම සඳහා සාධාරණ සහ සමාන ප්‍රවේශයක් පවතින බව සහතික කරයි.

ශ්‍රී ලංකාව දැනටමත් මෙම කොවැක්ස් ක්‍රියාවලියට ඇතුළත් වී ඇති අතර, කොවැක්ස් පහසුකම මඟින් කොවිඩ් - 19 එන්නත් මාත්‍රා ලබා ගැනීම පිණිස වන නිල සංවර්ධන සහාය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් සපුරා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඇතුළත්, GAVI සංවිධානය (Global Alliance for Vaccines and Immunization) විසින් තහවුරු කර ඇත.

අදාළ එන්නත් පහසුකම ලබා ගැනීම සඳහා අදියර දෙකක් යටතේ එන්නත් ඉල්ලුම් අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස රටවල් වෙත දැනුම් දී ඇති අතර, ඉලක්කගත කණ්ඩායමේ සහ එන්නත් ගබඩා කිරීමේ ධාරිතාව පිළිබඳ තාක්ෂණික තොරතුරු ඇතුළත් එන්නත් අයදුම්පතේ පළමු සහ A කොටස 2020 දෙසැම්බර් 07 දිනට පෙර ඉදිරිපත් කළ යුතුව තිබුණි. ශ්‍රී ලංකාව විසින් එකී අයදුම්පත් නිසි වේලාවට ඉදිරිපත් කරන ලදී. එහි දෙවන කොටස වන එන්නත් ලබා ගැනීම සහ ඊට අදාළ වන්දිපූරණ ගිවිසුමට එළඹීම සඳහා 2021 ජනවාරි 08 දිනට පෙර අයදුම්පත ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව, නීතිපතිතුමා විසින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් කොවැක්ස් සඳහා වන එන්නත් ඉල්ලීමේ B කොටස ඉදිරිපත් කිරීමටත්, කොවැක්ස් පහසුකම මඟින් එන්නත් වෙන් කර දෙනු ලබන අවස්ථාවේදී අදාළ නිෂ්පාදකයා සමඟ ගිවිසුමකට එළඹීමටත්, සෞඛ්‍ය ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.