• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1973 අංක 05 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම
- පුවත්පත් මාධ්‍යයන්ගේ මාධ්‍ය වාර්තාකරණය මඟින් ජනතාව වෙත යම් අගතියක් ඇති වීම වැළැක්වීම මෙන්ම ජනමාධ්‍යවේදීන් හා ජනතාව අතර සුහදශීලී සම්බන්ධතාවක් ඇති කරලීමේ පරමාර්ථයෙන් 1973 අංක 05 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත මඟින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය පිහිටුවා ඇත. එකී පනතේ විධිවිධාන පුවත්පතට පමණක් සීමාවී ඇති බැවින් පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබඳව විනිශ්චය ආයතනයක් ලෙස ද, මාධ්‍ය අධ්‍යාපනය ප්‍රවර්ධනය කෙරෙන මධ්‍යස්ථානයක් ලෙස ද ප්‍රතිසංවිධානය කළ යුතු බව හඳුනාගෙන ඇත. එබැවින්, වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ලබා ගැනීම පිණිස විද්වත් කමිටුවක් පත් කිරීමටත්, ඒ සඳහා අදහස් හා යෝජනා පොදු මහජනතාව වෙතින් හා සිවිල් සංවිධාන වෙතින් ලබා ගැනීමටත්, ඒ අනුව, සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීමටත් ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.